(~!~)ආයුබෝවන්(~;~)

***::::::::::::::::::::::::*** :::දිනය සුබ ‍ව‍ෙීවා:::** :::ඔබට ජය වෙීවා.:::** ***:::::::::::::::::::::::***

Sunday, June 28, 2015

කාලය හරහා යමුද

ඉතින් යාලුවනේ කොහොමද ,අද මං කියලා දෙන්න හදන්නේ කාලය හරහා ගමන් කරන්නේ කොහොමද කියලා Image result for time machine,හහ්හහ්හහ්හහ්හහ් මේකට ඉතින් ගොඩක් මහන්සි වෙන්න ඕනේ.ඔයාලට මේකට වහනයක් හදන්න එහෙම අමරැයි,අනික ලොකු වියදමක් යනවනේ.... අපේ වත්තේ සල්ලි ගස් තිවුනට ඔගොල්ලන්ට එහෙම නෑනේ,ඉතින් මං කියන්නේ හයියෙන් දුවන්න පුලුවන්නම් ම්ම්ම් ඕඕ ඉතින් හැමෝම කියන්නේ, හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ කියලා.. කෝ කෝ එහෙනම් කාලය හරහා ගමන් කරමු නේද.. හෝව් හෝව් ඉන්ටෝ ,කියපු ගමන් දුවන්න ගන්නවා ඕකනේ ඉතින් බැරි.දුවන්න ඕන වේගේ දන්නෙත් නෑ.ඔගොල්ලෝ දුවන්න ඕනේ යාලුවනේ ආලෝකයේ වේගයෙන්.අන්න එදාට ඔයාලට කාලය හරහා යන්න පුලුවන්.try and try one day you can fly කියලා ගහකින් වැටුනු සුද්දෙකුත් කියලා තියෙනවැයි කියන්නේ.**මේකයි දුවේ අද කථාව.පුතාලත් අහගන්නකෝ
ආලෝකයට වඩා වේග‍යෙන් ගමන් කල හැකිනම් ,කාලය හරහා ගමන් කල හැකි බව පවසා ඇත්තේ Sir Albert Einstein මහතා විසිනි .නමුත් තවමත් මෙය හීනයක් . ශබ්දයේ වේගය අභිබවා යාමට  සමත් අහස් යාත්‍ර ඇත බව ඔබ දන්නවයා ඇති.
ශබ්දට වගේම ආලෝකයටත් වේගයක් තියෙන බව ඔගොල්ලෝ දන්නවා ඇති.එ වගේම ශබ්දයේ වේගයට වඩා ආලෝකයේ වේගය වැඩි බවත් හැමෝම දන්නවනේ(අකුනු ගහනකොට) ශබ්දයේ වේගය 332m/s(තත්පරයට මීටර්) තව ටිකක් පැහැදිලි කලොත්, තත්පරයක් තුල ශබ්දය මීටර් 332ක් ගමන් කරන බවයි.
ආලෝකයේ වේගය තත්පරයට මීටර් 299 792 458 ක් .එ කියන්නේ ලමයිනේ  Sir Albert Einstein මහතා  කියන විදියට කාලය හරහා ගමන් කිරිමට නම් ඉහත වේගය අභිබවා යායුතුයි.
Image result for time machine
ශබ්ධයේ වේගය       =   332 m/s
ආලෝකයේ වේගය  =  299 729 458 m/s

මෙි මං කියන දේ මහ විකාරයක් වගේ හිතෙයි හැමෝටම වගේ. මෙකයි මේ දැන් අපි දකින දේ සැබැවක්ද ,බලන්න ඔයාගේ ඉදිරියේ තියෙන දෙයක් දිහා  කුමක් හෝ සිදුවීමක් දිහා. එක මේ දැන්ද සිදුවුනේ .හිතන්න ආලෝකයට වේගයක් තියෙන බව ඉහත සදහන් කලා.එ වගේම ඒකක ලෙස තත්පරයට මීටර්,
මා ඉහත සදහන්කල දේ මෙහෙම පැහැදිලි කරන්නම්කෝ,  අපි මේ ගැන සරලව හිතමුකෝImage result for time machine
උදාහරනයට ආලෝකය ගමු ,හිතන්නකෝ ආලෝකය තත්පරයට මීටර් 1ක්( 1m/s) ගමන් කරනවා කියලා.
අපි ඕන්න එහෙනම් LED bulb 1ක් අරගෙන 1 m ඈතින් තියලා දල්වනවා. ආලෝකය තත්පරයට මීටර් 1ක් ගමන් කරනවනම් එ ආලෝකය අපට දර්ශනය වීමට තත්පර 1ක් ගතවේ.මීටර් 2ක් ඈතින් තබා දැල්වුවොත් එය දර්ශනය විමට තත්පර 2ක් ගතවේ.1kmක් ඈතින් තබා දැල්වුවොත් එය දර්ශනය විමට තත්පර 1000(1000/60විනාඩි)ක් ගතවේ.දැන් තේරැනා නේදෝ
ඉතින් දුර වැඩිවිමත් සමග අපිට යම් වස්තුවක් දර්ශනය විමට ගතවන කාලය වැඩිවේ.ඇත්තටම මේක දැනෙන්නේ නෑ .අපි දැන් මේක ලොකුවට ගමු. පෘතුවියත් සූර්්‍යත් අතර දුර 150 000 000km .එහෙනම් හදලා බලන්නකෝ  පෘතුවියට සූර්්‍යගේ ආලෝකය වැටෙන්න යන වෙලාව.
දන්නවද ආලෝක වර්ෂ ගැන .ආලෝක‍යේ වෙගයෙන් වර්ෂයක් තුල ගමන් කරන දුර ආලෝක වර්ෂයක් ලෙස හදුන්වයි.ඉතින් මුලින් කිවුවේ ආලෝකය තත්පරයකදි ගමන් කරන දුරයි.ඉතින් වර්ෂයකට කොමද,,,Image result for time machine
හදලා බලහන්ඩෝ. හටපු ගමන්ම් කියන්නේ මෙන්න අලුත් ග්‍රහලෝකයක් හොයාගත්තා පෘතුවියේ සිට ආලෝක වර්ෂ 10ක් දුරින් කියලා.ඉතින් මණ්ඩුකයෝ හබල් දුරේක්ෂයෙන්ද එකෙන් හොයා ගත්තට ග්‍රහලෝකයට  යන්න පුලුවන්ද,හ්හ්හ්හ්හ් ,

සෙද්දක් කියනවා . ආලෝක වර්ෂ 10ක් දුරින් තියෙන ග්‍රහලෝකේ ඉදගෙන අපේ වද පුංචි නංගිගේ .හොර මිනිහගේ දුව මට අත වැනුවා කියමුකෝ.ඉතින් මෙ දැන් අත වැනුවොත්. මං අත දකින්නේ අවුරුදු 10කට පසුවයි.හැමපැත්තම හිතලා බලන්නකෝ. මගේ ඔලුවත් මඥ්ඥන් .ඉතින් බැරි වැඩ නොකර හිටන්. ආවා මෙකන කාලේ හරහා යන්න.මං සාලේ හරහා ගිහින් දොයි ගන්නෝ බාායි

Friday, June 26, 2015

ද්විතියික විනිශ්චය

First Aid for Life පලවු ලිපි පෙල

ඔබෙ දැන ගැනීම පිනිසයි...


ද්විතියික විනිශ්චය - Secondary Survey

ආයුබෝවන් ! හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියල විශ්වාස කරනවා. විවිධ මාතෘකා පිළිබඳව විවිධ ආකාරයෙන් කතා බහට ලක්වෙන වෙබ් අවකාශයේ තියෙන වෙබ් අඩවි, බ්ලොග් අඩවි දහස් ගාණක් අතරේ අපේ මේ බ්ලොග් එක ටිකක් විශේෂයි. මේකෙන් අපි අන්තර්ජාලය හරහා මුදල් උපයන හැටි නෙමෙයි කියල දෙන්නෙ. ව්‍යාපාරයක් පටන් ගන්න හැටි වත්, මාර්කටින් කරන හැටි ගැනවත් නෙමෙයි ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නෙ. සමහර විට ඒ නිසා වෙන්න ඇති අපේ බ්ලොග් එකට එච්චර ප්‍රතිචාර නැත්තෙත්. ඇයි ඉතින් මේක බැලුවා කියල සාක්කුවට කීයක්වත් වැටෙන්නෙ නෑනෙ. වෙන මොන මොනවාහරි සිංහලෙන් තියෙන බ්ලොග් අඩවි හොය හොයා යන අතරේ අහම්බෙන්වත් අපේ බ්ලොග් එක දැකලා ඒ දකින දේකින් ජීවිතේ යම් දවසක ප්‍රයෝජනයක් ගන්න ලැබුණොත්, එයයි අපේ සාර්ථකත්වය.

අද මේ දිග හැරෙන්නෙ "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර " ලිපි මාලාවේ එකොළොස්වැනි ලිපිය. මීට කලින් ලිපියෙදි අපි කතා කළේ ආරක්ෂිත ඉරියව්ව පිළිබඳව. අද මේ බ්ලොග් අඩවියට ඉස්සෙල්ලාම ආපු කෙනෙක් නම්, අපි ආරාධනා කරනවා මුල ඉඳන් පළවුණු ලිපි ටිකත් කියවගෙන එන්න කියල. මොකද අපේ මේ ලිපි පෙළ දිග හැරෙන්නෙ ඉතාම ක්‍රමවත් ගලා යාමක් සහිතව. අරහෙන් මෙහෙන් ලුණුයි, මිරිසුයි එකතු කරල හදන සම්බෝලයක් නෙමෙයි මේක. හොඳයි මිතුරු මිතුරියනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ප්‍රථමාධාරයේ එන තවත් වැදගත් මාතෘකාවක් සම්බන්ධව. ඒ තමයි ද්විතියික විනිශ්චය එහෙම නැත්තන් Secondary Survey. 

මතකද මූලික විනිශ්චය? මූලික විනිශ්චය කියන්නෙ පුද්ගලයෙකුට ජීවත්වීම සඳහා අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ජෛව සාධක පරික්ෂා කර බැලීම. එහෙනම් ද්විතියික විනිශ්චය කියල කියන්නෙ අපි මේ ලිපි පෙළේ මුලින්ම කතා කරපු රෝගී කළමනාකරණ පටිපාටියේ ඊළඟ අදියර. මූලික විනිශ්චයේදී යම් රෝගියෙකුගේ ජීවිතය බරපතල අවදානමක තියෙනවා නම් ඒ අවදානම ඉවත් කරන්න අපි ප්‍රතිකර්ම කරනවා. ඉන් අනතුරුව අපි මේ ද්විතියික විනිශ්චයේදි කරන්නෙ, රෝගියාට තියෙන අනෙකුත් ආබාධ පිළිබඳව පරික්ෂා කරලා, රෝග විනිශ්චය සිදු කරලා අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙන එක සහ රෝගියා ආරක්ෂිතව වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු කරන එක.. අපි දැන් බලමු, කොහොමද මේ ද්විතියික විනිශ්චය ක්‍රියාත්මක කරන්නෙ කියලා. සාකච්ඡා කිරීමේ සහ අවබෝධ කරගැනීමේ පහසුව තකා අපි මේ ද්විතියික විනිශ්චය සිදු කරන ආකාරයත් පියවර වශයෙන් කතා කරමු.

1. රෝග ඉතිහාසය


රෝගියාට මේ අවස්ථාවේදී ඇතිවෙලා තියෙන රෝගී තත්ත්වයට හේතු විය හැකි යැයි හිතෙන හැම දෙයක්ම අපි රෝග ඉතිහාසය කියල තමයි හඳුන්වන්නෙ. රෝග ඉතිහාසය දැන ගැනීම අපිට ඉතාම වැදගත් වෙනවා රෝගය මොකක්ද කියල තීරණය කිරීමේදී සහ ප්‍රථමාධාර ලබා දීමේදී. රෝග ඉතිහාසය ගැන සොයා බලනකොට අපි මෙන්න මේ කරුණු පහ ගැන අනිවාර්යය අවධානය යොමු කරන්න ඕනෙ. මේ කරුණු පහ අපි AMPLE (ඇම්පල්) කියල හඳුන්වනවා.

A  -  Allergies  -  රෝගියාට ආසාත්මිකතා තිබේද?

M  -  Medications  -  රෝගියා යම් ඖෂධයක් ලබාගෙන තියෙනවද? දෛනිකව ඒ වගේ යම් බෙහෙතක් පාවිච්චි කරනවද?

P  -  Previous Medical History  -  වෛද්‍යමය ඉතිහාසය. ඇත්තටම මෙතනදි බලන්නෙ කලින් මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවද, වෛද්‍ය ප්‍රතිකාර අරන් තියෙනවද කියන එක. (මම උදාහරණයක් කියන්නම්. අපිට ප්‍රථමාධාර සේවාවන් වලදි නිතරම හමු වෙනවා අපස්මාර රෝගීන්. මගේ මේ අවුරුදු හයක ප්‍රථමාධාර ජීවිතේදි මට නම් කවදාවත් මුණගැහිල නෑ ප්‍රථම වතාවට අපස්මාර තත්ත්වයක් ඇතිවෙච්ච රෝගීන්. හම්බවෙලා තියෙන හැමෝම මීට කලිනුත් අපස්මාරය හැදිලා, වෛද්‍ය ප්‍රතිකාර අරගෙන, රෝගය ඇතිවෙන්න කලින් වරුවෙ බෙහෙත් වේල නොබීපු අය. ඔන්න ඔය වගේ අවස්ථා වලදි වෛද්‍යමය ඉතිහාසය ප්‍රථමාධාරකරුවෙකුට ගොඩක් වැදගත් වෙනවා ඊළඟට කරන්න ඕන දේ ගැන තීරණය කරන්න )

L  -  Last Meal  -  අවසන් වරට ගත් ආහාරය සහ ආහාර ගත් වේලාව.

E  -  Event/ Environment  -  සිදුවීම / ආබාධයේ පසුබිම. සරලව මේ කියන්නෙ "හරියටම මොකක්ද සිද්ධ වුණේ" කියන එක. දුවන්න ගිහින් ලිස්සල වැටුණා, ක්ලාන්තයක් හැදිල වැටුණා, මෝටර් සයිකලයක හැප්පුණා.. දවල්ට කඩේකින් කොත්තුවක් තමයි කෑවෙ. ඊට පස්සෙ තමයි මේ බඩ රිදෙන්නෙ.. ඔය ඕනම දෙයක්.

රෝග ඉතිහාසයට සම්බන්ධ මේ කරුණු අපිට රෝගියාගෙන් අහල දැනගන්න පුළුවන්. එහෙම නැත්තන් වටාපිටාවෙ ඉන්න අය, රෝගියාගේ පවුලෙ අය, ඒ වෙලාවෙ රෝගියා එක්ක හිටපු අයගෙන් අහල දැනගන්නත් පුළුවන්. එහෙමත් නැත්තන් අවට නිරීක්ෂණය කිරීමෙනුත් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කවුරුහරි පුද්ගලයෙක් කුඹුරෙ වැටිල ඉන්නවා. වල් නාශක බෝතලේකුත් ළඟ පාත තියෙනවා. රෝගියා ළඟින් සැර ගඳකුත් එනවා. එහෙනම් අපිට අනුමාන කරන්න පුළුවන් මේ වස ශරීරගත වීමක් කියලා. ඒ වගේම රෝගියා හා සම්බන්ධ වෛද්‍යමය තොරතුරු වලිනුත් අපිට යම් නිගමනයකට එන්න පුළුවන් මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා.

2. රෝගී තත්ත්වය හඳුනා ගැනීම


රෝගී තත්ත්වය හඳුනා ගන්න අපි ප්‍රධාන ක්‍රම දෙකක් අනුගමනය කරනවා.

රෝග ලක්ෂණ හා නිමිති


රෝග ලක්ෂණ කියල කියන්නෙ රෝගියා අපිට කියන සහ අපි රෝගියාගෙන් අහල දැනගන්න දේවල්. වේදනාව, හිරිවැටීම, සීතල දැනීම, ඔක්කාරය ඔය වගේ රෝගියා පවසන ඕනෑම දෙයක්. රෝග නිමිති කියල කියන්නෙ දැකීමෙන්, දැනීමෙන්, සවන් දීමෙන්, ආඝ්‍රාණයෙන් ප්‍රථමාධාරකරු හඳුනා ගන්නා දේවල්. ඉදිමීම, පැහැය වෙනස් වීම, සුදුමැලි වීම, නාඩි වැටෙන රිද්මය සහ ගැඹුර, දහඩිය දැමීම වගේ දේවල්. පැහැදිලියි නේද?

පූර්ණ ශරීර පරික්ෂාව - Head to Toe Assessment 


රෝග ලක්ෂණ හා නිමිති වලට අමතරව අපි තවත් ක්‍රියාකාරකමක් කරනවා රෝගී තත්ත්වය හඳුනා ගැනීම සඳහා. මේක අපි පූර්ණ ශරීර පරික්ෂාව කියල හඳුන්වනවා. වචනයේ කියනව වගේම මේකෙදි කරන්නෙ රෝගියාගේ හිසේ සිට පාදය දක්වා පරික්ෂා කර බලන එක. දැන් අපි බලමු කොහොමද පූර්ණ ශරීර පරික්ෂාවක් කරන්නෙ කියලා.


  • ස්වසනය 


ඔයාල බලනවා ඇති මූලික විනිශ්චයේදිත් ස්වසනය පරික්ෂා කරලා, ද්විතියික විනිශ්චයේදිත් ස්වසනය පරික්ෂා කරන්නෙ ඇයි කියලා. මූලික විනිශ්චයේදි අපේ බලාපොරොත්තුව රෝගියාගේ අත්‍යාවශ්‍ය ජෛව සාධක ක්‍රියාත්මක වෙනවාදැයි බලන එක. යන්තමින් හරි හුස්ම වැටෙනවනම් මූලික විනිශ්චයේදි වැඩේ ගොඩ. නමුත් ද්විතියික විනිශ්චයේදි අපි කරන්නෙ රෝගය හඳුනා ගන්න එක. ඒ නිසා මෙතනදි අපි ස්වසනය පරික්ෂා කරනව කියල කරන්නෙ ස්වසනය සාමාන්‍ය ආකාරයෙන් ම සිදු වෙනවද, නැත්තන් මොනවත් අසාමාන්‍ය ලක්ෂණ (හුස්ම ගැනීම වේගවත් ද සෙමින් ද, ගැඹුරු ද, නොගැඹුරු ද, හුස්ම ගන්නෙ අපහසුවෙන්ද, රාං රූං සද්දයක් එනවද වගේ දේවල් ) තියෙනවද කියල බලන එක. ඒ වෙනස පැහැදිලිව තේරුම් ගන්න.


  • නාඩි පරික්ෂාව


ඉස්සෙල්ලා ස්වසනය වගේම තමයි මෙතනදිත් කතන්දරේ. හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා තියෙනවද කියලයි අපි බලන්නෙ. නාඩි වැටීම වේගවත් ද? සෙමින් ද?, ශක්තිමත් ද? දුර්වලද? රිද්මයානුකූලව සිදු වෙනවද නැත්තන් වරින් වර වෙනස් වෙනවද? ඔන්න ඔය වගේ දේවල්.


  • සිදු වී ඇති අනතුරු


මෙතනදි අපි හිස, බෙල්ල, උරහිස්, දෙ අත් සහ ඇඟිලි, පර්ශු, උදරය, ශරීරයේ දෙපස, කොඳු ඇට පෙළ, කකුල් සහ ඇඟිලි දක්වා අපේ අත් වලින් පරික්ෂා කරල බලනවා. මේ පරික්ෂාවේදී අපිට තහවුරු කරගන්න පුළුවන් රෝගියාගේ ශරීරයෙන් අපිට එක්වරම නොපෙනුන රුධිර වහනයක් සිදු වෙනවද, අස්ථි බිඳුම් සිදු වෙලා තියෙනවාද කියල.





3. ප්‍රථමාධාර කිරීම සහ ප්‍රවාහනය


මේ පරික්ෂා ටික අහවර වෙද්දි අපිට රෝගියාගේ රෝගී තත්ත්වය/ ආබාධය ගැන නිශ්චිත නිගමනයකට එන්න පුළුවන්.  ඊට පස්සෙ ඒ එක් එක් රෝගී තත්ත්වයේ ප්‍රමුඛතාවය අනුව (රෝගියාගේ ජීවිතයට දශමෙකින් හරි අවදානම වැඩි රෝගයට/ ආබාධයට තමයි ඉස්සෙල්ල ප්‍රථමාධාර කරන්නෙ ) අපි රෝගියාට ප්‍රථමාධාර කරනවා. ක්ලාන්තයක් නම් ඊට අදාල ප්‍රථමාධාර, තුවාලයක් නම් අපි ලේ එන එක නවත්තලා, සැරහුමක් යොදනවා, අස්ථි බිඳුමක් නම් අදාල අවයවය නිශ්චල කරනවා. ඔය වගේ එක් එක් රෝගී තත්ත්වයට අපි ප්‍රථමාධාර කරලා, ගෙනියන්න පුළුවන් වඩාත් ම ආරක්ෂිත ක්‍රමයෙන් රෝගියාව රෝහල් ගත කරනවා. මේ ප්‍රවාහන මාධ්‍යය තෝරගන්නකොට රෝගියාගේ රෝගී තත්ත්වය, ශරීර ප්‍රමාණය, රැගෙන යා යුතු දුර, අපිට උදව් කරන්න කී දෙනෙක් ඉන්නවද, අපට ඒ අවස්ථාවේ තියෙන සම්පත් මොනවාද කියන දේවල් ගැන සැළකිලිමත් වෙන එක වැදගත්.

ඔයාල දැන් කල්පනා කරනවා ඇති ද්විතියික විනිශ්චයෙන් රෝගියාගේ රෝගී තත්ත්වය මොකක්ද කියල තීරණය කරගත්තට පස්සෙ ඒ ඒ රෝගයට කොහොමද ප්‍රථමාධාර කරන්නෙ කියල. කලබල වෙන්න එපා. අපේ මේ ලිපි මාලාවේ ඉදිරි ලිපි වෙන් වෙන්නෙ අන්න ඒ ගැන කතා කරන්න තමයි. ක්ලාන්තය, තුවාල, රුධිර වහනයක් කළමනාකරණය කරන්නෙ කොහොමද, අස්ථි බිඳුමකදී, සර්ප දෂ්ඨනයකදී, උළුක්කුවකදී කරන්නෙ මොනවාද, උගුරේ/ කනේ/ නාසයේ යම් දෙයක් හිර වුණොත් මොකද කරන්නෙ, ඔය වගේ ගොඩාක් අවස්ථාවන් ගැන අපි ඉදිරි ලිපි වලින් කතා කරනවා. වැදගත් වෙන්නෙ මෙතෙක් අපිත් එක්ක හිටියා වගේම ඉදිරියටත් මේ ලිපි පෙළ පරිශීලනය කරන එක. ඔබට අනිවාර්යයෙන්ම ප්‍රථමාධාර පිළිබඳව හොඳ දැනුමක් ලැබේවි. මේ ලිපි පෙළ කියෙව්වා කියල ඔබට සුපිරි ප්‍රථමාධාරකරුවෙක් වෙන්න බැරි එක නම් ඇත්තයි. නමුත් මේ ලිපි පෙළ නිසා ඔබ මෙච්චර කල් හරියි කියල හිතාගෙන කරපු වැරදි දේවල් වත් නොකර හිටියොත් ඒකත් හොඳටම ඇති. හරි දේ කරන්න දන්නෙ නැත්තන් අඩු තරමෙ ඔබ වැරදි දේ නොකර සිටීම රෝගියාගේ ජීවිතයට හොඳයි, වෛද්‍යවරයාට පහසුයි සහ ඔබේ සෞඛ්‍යයටත් හොඳයි.

ආරක්ෂිත ඉරියව්ව

ආරක්ෂිත ඉරියව්ව - Recovery Position

ආයුබෝවන්.. හැමෝම සැපෙන් සනීපෙන් ඉන්නවා නේද? ඔන්න අදත් අපි ආවා එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර ලිපි මාලාවේ දහවැනි ලිපිය අරගෙන. මේ කෙටි කාලය තුළ අපේ බ්ලොග් එකට 600 කට වැඩි පිරිසක් ඇවිත් තියෙනවා. ඒ හැමෝම ආවෝ ගියෝ වෙන්නෙ නැතුව මේ ලිපිවල පළවෙන දේවල් බොහොම උනන්දුවෙන් අධ්‍යයනය කරන්නත් ඇති කියල අපි විශ්වාස කරනවා. පසුගිය ලිපියෙන් අපි බොහොම සවිස්තරාත්මකව කතා කළා මූලික විනිශ්චය සහ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය සම්බන්ධව. අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය පාඩමේ අවසාන කොටස, ආරක්ෂිත ඉරියව්ව ගැන.

ආරක්ෂිත ඉරියව්ව


මොකක්ද මේ ආරක්ෂිත ඉරියව්ව? නම දැකපු ගමන් ඔයාලට කල්පනා වෙන්න ඇති "මේක නම් මොකක් හරි විශේෂිත ඉරියව්වක් වෙන්න ඕන" කියලා. ඔව් ඒක හරි. ස්වසනය කරන, සිහිය නොමැති රෝගියෙක්ව රෝහල්ගත කරන තෙක් හෝ රෝහල්ගත කරන අතරතුර ස්ථාපිත කරල තියෙන විශේෂිත ඉරියව්ව තමයි ආරක්ෂිත ඉරියව්ව කියල කියන්නෙ. මතකද DRABC ? ඒකෙ ස්වසන පරික්ෂාවෙන් පස්සෙ, රෝගියා ස්වසනය කරනවා නම් අපි එයාගෙ නාඩි පරික්ෂාව සිදු කරනවා. එතනින් පස්සෙ අපි කරන්නෙ රෝගියාව ආරක්ෂිත ඉරියව්වට පත් කරන එක. 

කොයි වගේ රෝගීන්වද ආරක්ෂිත ඉරියව්වට පත් කරන්නෙ?

1. ස්වසනය කරන, අසිහි රෝගීන්
2. දියේ ගිලී ගොඩ ගත්, ස්වසනය කරන රෝගීන්
3. වස පානය කළ රෝගීන්
4. අධික ව මත්පැන් පානය කළ වැටී සිටින පුද්ගලයින්
5. අපස්මාර රෝගීන් (අපස්මාර තත්ත්වය පහව ගිය පසු )

දැන් අපි බලමු කොහොමද රෝගියෙක්ව ආරක්ෂිත ඉරියව්වට පත් කරන්නෙ කියලා.

අපි ආරක්ෂිත ඉරියව්වට පත් කිරීමට සූදානම් වෙන රෝගියා තම ශරීර උස මෙන් දෙගුණයකට වඩා උසකින් ඇද වැටුණු කෙනෙක් නම් හෝ රිය අනතුරකට ලක් වූ අයෙක් නම් හෝ පහර දීමට ලක් වූ අයෙක් නම්, අස්ථි බිඳුමක් වෙලා ඇති කියන සැකය මත අපි රෝගියාගේ අස්ථි පරීක්ෂාවක් සිදු කරනවා. ඇත්තටම මෙතනදි කරන්නෙ අනතුර හේතුවෙන් රෝගියාගේ අස්ථි වලට යම් හානියක් වෙලා තියෙනවද කියල පරික්ෂා කරන එක. එහෙම හානියක් වෙලා නම් අපි රෝගියාව ආරක්ෂිත ඉරියව්වට හරවන්නෙ නෑ. විශේෂයෙන්ම අනතුර නිසා රෝගියාගේ කොඳු ඇට පෙළට හානි වෙලා තියෙනවා නම්, අපි රෝගියාව ආරක්ෂිත ඉරියව්වට හරවන්නෙ නෑ. (මේ අස්ථි පරික්ෂාව සිදු කරන ආකාරය අපි ද්විතියික විනිශ්චය පාඩමේදි කතා කරමු. )

ඔන්න පහළින් තියෙනවා ආරක්ෂිත ඉරියව්වට හැරවීමේ පියවර ටික.




1. මූලික විනිශ්චය ලිපියෙදි අපි කිව්වනෙ රෝගියා අසලින් වාඩි වෙනකොට හැකි සෑම අවස්ථාවකදීම රෝගියාගේ දකුණු පැත්තෙන් ඉන්න කියලා. ඒ නිසා රෝගියා ආරක්ෂිත ඉරියව්වට හරවනකොටත් අපි ඉන්නෙ රෝගියාගේ දකුණු පැත්තෙන්. අපි පළවෙනි පියවර විදිහට කරන්නෙ, අපි ඉන්න පැත්තෙ තියෙන රෝගියාගේ අත, වැලමිට අසලින් L හැඩයට සකස් කරන එක. මෙතනදි, අතේ පහළ බාහුව සහ ඉහළ බාහුව අතර කෝණය වැලමිට අසලදී අංශක 90 ක් වෙන්න ඕන.

2. ඊට පස්සෙ රෝගියාගෙ වම් අත අරගෙන, පිටි අත්ල දකුණු කම්මුලට හේත්තු වෙන විදිහට අත සකසනවා. එතකොට අල්ල තියෙන්නෙ ඇඟෙන් ඉවතට. රූපය බලන්නකො. එතකොට පැහැදිලි වෙයි කොහොමද කරල තියෙන්නෙ කියලා. ඒ අතරෙම අපි රෝගියාගේ ශරීරයේ හරවන ඇලය පරික්ෂා කරල බලනවා රෝගියාව හැරවීමේදි අනතුරු සිදුවිය හැකි දේවල් තියෙනවද කියලා. තියෙනවා නම් ඒවා ඉවත් කරනවා (සාක්කු වල තියෙන මොබයිල් ෆෝන්, පෑන්, යතුරු වැනි අනතුරුදායක යැයි හිතෙන ඕනෑම දෙයක් )

3. තෙවනුව, කම්මුල මත තියෙන රෝගියාගේ අත, ඔයාගෙ එක අතකින් අල්ලගෙන ඉන්න ගමන් රෝගියාගේ වම් කකුලෙ දණහිස යටින් ඔයාගෙ අනිත් අතේ ඇඟිලි යවන්න. මතක තියාගන්න, කකුල් දෙක අතරින් නෙමෙයි.. පිට පැත්තෙන්. හරිනේ? ඒ විදිහට රෝගියාගේ දණහිසෙන් තරයේ අල්ලගෙන, රෝගියාගේ යටි පතුල සම්පූර්ණයෙන් බිම ගෑවෙනකම් දණහිස ඔසවන්න. ඊට පස්සෙ දණහිසෙන් අල්ලලා, රෝගියාව ඔයාගෙ පැත්තට ඇද්දම රෝගියා ලස්සනට රෝල් වෙලා ඔයාගෙ පැත්තට පෙරළෙයි.

4. රෝගියා පෙරලුණාට පස්සෙ රෝගියාගේ කකුල් දෙකෙන් එකක් ඔයාගෙන් ඉවතට සහ අනික ඔයාගෙ දෙසට යොමු වෙලා තියෙයි. දැන් ඔයාගෙ දෙසට යොමු වෙලා තියෙන කකුල, දණහිස අසලින් අංශක 90 ට ආසන්න වෙන කෝණයකින් සකසන්න. ඔයාගෙන් ඉවතට යොමු වෙලා තියෙන පාදය හරි කෙලින් තියෙන්න ඕනෙ. පැහැදිලියි නේ?

රෝගියාව සම්පූර්ණයෙන්ම ඉරියව්වට හැරෙව්වට පස්සෙ අපි එයාගෙ ස්වසන මාර්ගය විවෘත වෙලා තිබෙන විදිහට හිස සකසනවා. ඉන් අනතුරුව අපි රෝගියාව හැරවීම නිසා එයාගෙ රුධිර ගමනාගමනයට යම් බාධාවක් ඇති වෙලා තියෙනවද කියල දැනගන්නත් එක්ක, නාඩි පරික්ෂා කරල බලනවා. ඉන් අනතුරුවත් අපි වරින් වර රෝගියාගේ නාඩි පරික්ෂා කිරීම සිදු කරනවා. ඒ වගේම අපි රෝගියෙක්ව ආරක්ෂිත ඉරියව්වේ තබන කාලය මිනිත්තු 30කට වඩා වැඩියි නම්, මිනිත්තු 30න් 30ට අපි රෝගියාව හරවලා තියෙන පැත්ත මාරු කරනවා. (එහෙම හැරෙව්වා කියලා හානියක් නැත්තන් විතරයි හොඳේ ) රෝගියාව ආරක්ෂිත ඉරියව්වට හරවල ඉවර වුණාට පස්සෙ අපිට දිස් වෙන්නෙ මෙන්න මේ ආකාරයට.



සඳහන් කළ යුතු විශේෂ දෙයක් තියෙනවා. ගැබිණි කාන්තාවක් ආරක්ෂිත ඉරියව්වට හරවද්දි අපි දකුණු පැත්තට හරවන්නෙ නෑ. හැමවිටම හරවන්නෙ වම් පැත්තට. දකුණු පැත්තට හැරෙව්වොත් එහෙම කුසේ ඉන්න දරුවාගේ බර නිසා ශරීරයේ පහළ කොටසේ සිට හෘදය සහ පෙණහැලි වෙත රුධිරය රැගෙන යන අපර මහා ශිරාව අවහිර වීම නිසා ශරීරයේ රුධිර සංසරණයට බාධා වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි අපි ගැබිණි කාන්තාවන්ව ආරක්ෂිත ඉරියව්වට හැරවීමේදී වම් පැත්තට විතරක් හරවන්නෙ.

ළදරුවෙක්ව ආරක්ෂිත ඉරියව්වට හරවන විදිහ තමයි මේ රූපයේ තියෙන්නෙ.




මේ ආරක්ෂිත ඉරියව්වට පත් කිරීම තුළින් රෝගියාට විශේෂ වාසි කිහිපයක් අත් වෙනවා.

1. ස්වසන මාර්ගය විවෘතව තියෙන නිසා රෝගියාගේ ස්වසනය පහසු වෙනවා. ඒ වගේම දිව ආපස්සට වැටීම මගින් ස්වසන මාර්ගය අවහිර වීමත් වැළකෙනවා.
2. වමනය, සෙම ආදිය ආවොත් එහෙම ඒවා මුඛය දිගේ පහළට වැටෙනව මිසක් ස්වසන මාර්ගයට ඇතුළු වෙන්නෙ නෑ.
3. රෝගියාගේ කකුල් සකසලා තියෙන විදිහ නිසා මේ ඉරියව්ව හරිම ස්ථාවරයි. ආයෙ වැටෙන්නෙ පෙරළෙන්නෙ නෑ.


හොඳයි.. අද මේ ලිපියෙන් අපි කතා කළේ ආරක්ෂිත ඉරියව්ව පිළිබඳව. ආරම්භයේ සිට එහි සම්පූර්ණ ක්‍රියාවලිය කරන්නෙ කොහොමද කියල මෙන්න මේ විඩියෝ එකේ පැහැදිලිව තියෙනවා.




සිහිය නොමැති වුවත් මෙන්න මේ රෝගීන්ව අපි එක්වරම ආරක්ෂිත ඉරියව්වට හරවන්නෙ නෑ.

1. අස්ථි බිඳුමක් ඇති රෝගීන්
2. අධික රුධිර වහනයක් සිදුවන රෝගීන් (පළමුව රුධිර වහනය කළමනාකරණය කර, දෙවනුව හැරවිය හැකියි )
3. කොඳු ඇට පෙළට හානි සිදු වූ රෝගීන් ( ඉතාම වැදගත් වෙන්නේ රෝගියාගේ ස්වසනය අවහිරතාවකින් තොරව පවත්වා ගෙන යාම. ඒ නිසා කොඳු ඇට පෙළට හානි සිදු වූ රෝගියෙක්ට වමනය හෝ සෙම ඉවත් වෙනවා නම් අපි Log - Roll කියන  විශේෂ ක්‍රමය මගින් ආරක්ෂිත ඉරියව්වට හරවනවා. )

මූලික ක්‍රමවේදය 2

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය 2 - Basic Life Support 2

ආයුබෝවන් හැමෝටම ! සනීපෙන් ඉන්නවා නේ කට්ටියම? දවස් කිහිපයකට පස්සෙ ඔන්න අද අපි අළුත් ලිපියක් අරගෙන ආවා. පහුගිය ලිපියෙන් අපි කතා කළේ මූලික විනිශ්චය, එහෙමත් නැත්තන් DRABC ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. අද අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව. අපි මේකට කෙටියෙන් CPR කියලත් කියනවා. 

මතකයිනෙ අපි කලින් කතා කරපු DRABC කියන පාඩම? අනතුර හඳුනා ගැනීම, ප්‍රතිචාර පරික්ෂාව, ස්වසන මාර්ගය විවෘත කිරීම, ස්වසනය පරික්ෂා කිරීම සහ රුධිර සංසරණය පරික්ෂා කිරීම / කෘතිම පපු තෙරපුම ලබා දීම කියන අදියර පහ තමයි මූලික විනිශ්චය එහෙම නැත්තන් DRABC කියන්නෙ. මෙන්න මෙතන ස්වසනය පරික්ෂා කරන අදියරෙන් පස්සෙ අපිට ලැබෙන්නෙ ප්‍රතිඵල දෙකයි. එක්කො රෝගියා ස්වසනය කරනවා, එහෙම නැත්තන් රෝගියා ස්වසනය කරන්නෙ නෑ. ඒ ලැබෙන ප්‍රතිඵලය අනුවත්, අපිට කරන්න පුළුවන් දේවල් ප්‍රධාන වශයෙන්ම දෙකයි තියෙන්නෙ. රෝගියා ස්වසනය කරනවා නම්, ආරක්ෂිත ඉරියව්වට හරවා රෝහල්ගත කරනවා.  රෝගියා ස්වසනය කරන්නෙ නැත්තන්, කෘතිම පපු තෙරපුම ලබා දෙමින් රෝහල්ගත කරනවා. ස්වසන පරික්ෂාවෙන් පස්සෙ අපි මේ සිදු කරන කෘතිම පපු තෙරපුම ලබා දීම හෝ ආරක්ෂිත ඉරියව්වට හරවා රෝහල්ගත කිරීම කියන අවස්ථා දෙකට අපි පොදුවේ "මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය" කියල කියනවා. පැහැදිලියි නේ?

ඉතින් අද අපි මූලික වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මේ අවස්ථා දෙකෙන්, ස්වසනය නොකරන රෝගියෙකුට ලබා දෙන ප්‍රථමාධාරය පිළිබඳවයි. 


හෘත් පෙණහැලි ප්‍රති ප්‍රබෝදනය  -  Cardio Pulmonary Resuscitation  -  CPR


උඩ තියෙන මාතෘකාව දිහා බලපුවම නිකන් ඉවෙන් වගේ දැනෙනවා නේද මොකක්ද මෙතනදි කෙරෙන්නෙ කියලා? හෘදය සහ පෙණහැලි නැවත යථා තත්ත්වයට පත් කිරීම.. එහෙම නේද? අපිට හමුවෙලා තියෙන්නෙ ස්වසනය නොකරන රෝගියෙක්. මූලික විනිශ්චය පාඩමේදි අපි කිව්වා ස්වසනය සහ රුධිර සංසරණය අතර ප්‍රබල බැඳීමක් තියෙනවා කියල. එකක් නැවතුනොත් අනිකත් නවතිනවාමයි. එහෙනම් ප්‍රථමාධාරකරුවෙක් විදිහට අපේ මූලික අරමුණ විය යුත්තේ රෝගියාගේ ජීවිතය බේරා ගැනීම. ජීවිතය බේරා ගැනීම සඳහා මෙතනදී පළමුවෙන්ම කළ යුත්තේ රෝගියාගේ නතර වෙලා තියෙන ස්වසනය සහ රුධිර සංසරණය යථාවත් කිරීම. ඒ මොකද, ස්වසනය හෝ හෘදය නතර වෙලා මොළයට රුධිර සැපයුම නතර වුණොත් රෝගියා මිය යනවා. ඔක්සිජන් සහිත රුධිරය නොමැතිව මොළයේ සෛල වලට පවතින්න පුළුවන් වෙන්නෙ විනාඩි 3ක් වගේ බොහොම කෙටි කාලයක්. ඉන් පස්සෙ මොළයේ සෛල මැරෙන්න ගන්නවා. මොනයම් හෝ හේතුවක් නිසා මොළයේ යම් කොටසක සෛල මිය ගියොත් ඒවා යථා තත්ත්වයට පත් කරන්න බෑ කියල ඔයාල දන්නවනේ. රෝගියා තනියම ස්වසනය සහ රුධිර සංසරණය සිදු නොකරන නිසා අපිට සිදු වෙනවා බාහිරව යොදන යම් බලයක් මගින් ස්වසනය සහ රුධිර සංසරණය සිදු කරවන්න. අන්න ඒක තමයි අපි CPR කියල කරන්නෙ. මේ CPR කියන ක්‍රියාවලියේදී අපි ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් සිදු කරනවා. 

1. රෝගියා තනියෙන් හුස්ම නොගන්න නිසා අපි එයාට කෘතිමව හුස්ම දෙනවා.
2. රෝගියාගේ රුධිර සංසරණය සිදු නොවෙන නිසා අපි කෘතිමව රුධිර සංසරණය සිදු කරලා ඔක්සිජන් සහිත රුධිරය මොළය වෙත යොමු කරවනවා.


පපු තෙරපුම ලබා දීම


අපේ සිරුරේ හෘදය පිහිටල තියෙන්නෙ උරස් කුහරයේ, පෙණහැලි දෙක අතරමැද වම් පැත්තට ටිකක් බර වෙලා. කලාතුරකින් කෙනෙක්ගෙ තමයි මේ පිහිටීම වෙනස් වෙන්නෙ. මනුස්සයෙක් ඉපදුණු වෙලාවෙ ඉඳලා ජීවිත රඟමඬලෙන් සමුගන්නකම් අපේ මේ හෘදය වෙහෙස නොබලා අනුපමේය මෙහෙයක් ඉටු කරනවා. ඒකනෙ අපි හෘදය වස්තුව කියන්නෙ. (වෙන කාට වස්තුව කිව්වත් හෘදය තරම් වස්තුවක් නම් ලොවෙත් නෑ ) සාමාන්‍ය තත්ත්ව වලදී මොළයෙන් ලබා දෙන විධාන මත, මේ හෘදය ස්පන්දනය වෙමින් ශරීරය පුරා රුධිර ගමනාගමනයට අවශ්‍ය බලය සපයනවා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා හෘදය ස්පන්දනය වීම නතර වුණොත්, මොළය ඇතුළු ශරීරයේ සියළුම අවයව පද්ධති වලට  රුධිරය සැපයීම අඩාල වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් මොළයට අවශ්‍යවන ඔක්සිජන් සහිත රුධිරය සැපයුම යථා තත්ත්වයට පත් කරන්න අපිට සිදු වෙනවා. ස්පොන්ජ් කෑල්ලකට වතුර උරල තියෙද්දි අපි ඒක මිරිකුවොත් මොකද වෙන්නෙ? ඒ උරපු වතුර ටික ඉවතට යනව නේද? අන්න ඒ වගේ මේ අවස්ථාවේදී අපි කරන්නෙ, අපේ අත් වලින් හෘදය තෙරපීමකට ලක් කරල, හෘදය ඇතුළේ තියෙන රුධිරය හෘදයෙන් ඉවතට තල්ලු කරල රුධිර සංසරණය කෘතිමව සිදු කරන එක.

ලිපි දෙකකින් කතා කළාට, මේ DRABC සහ CPR කියන්නෙ එක දිගට සිදු කරන ක්‍රියාවලියක්. අපි දැන් ඉන්නෙ රෝගියාගේ දකුණු පැත්තෙන්, උරහිස අසලින් දණ ගහගෙන. අපි මේ සූදානම් වෙන්නෙ රෝගියාට කෘතිම පපු තෙරපුම සහ ස්වසනය ලබා දෙන්න. කොහොමද අපි පපු තෙරපුම ලබා දෙන්නෙ? අපි ඉස්සෙල්ලාම කරන්න ඕනෙ, පපු තෙරපුම ලබා දීම සඳහා දෙ අත් ස්ථානගත කිරීම. බලන්නකෝ මේ රූප සටහන දිහා.






අපි ඇත්තටම මෙතන කරන්නෙ පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර පහළට තෙරපීම මගින්, හෘදය තෙරපීමකට ලක් කරලා හෘදය ඇතුලෙ තියෙන රුධිරය ඉවතට තල්ලු කරන එක. අපි තෙරපනකොට රුධිරය රුධිර නාල දිගේ හෘදයෙන් ඉවතට තල්ලු වෙනවා. අපි තෙරපීම ලිහිල් කළාම නැවතත් හෘදය රුධිරයෙන් පිරෙනවා. ආපහු තෙරපනකොට ඒ පිරුණු රුධිරය ඉවතට තල්ලු වෙලා යනවා. පැහැදිලියි නේද? පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර අපිට ඔය රූපයේ තියෙන ආකාරයට සොයාගන්න පුළුවන්. ඊට පස්සෙ අපි අපේ හුරු අත, පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවරින් තියලා, අනිත් අත හුරු අත උඩින් තියල ලොක් කරගන්නවා. බලන්නකො පහළ තියෙන රූපය.. ඒකෙ තියෙනවා අපි දෙ අත් ස්ථානගත කරන ආකාරය.




ඊට පස්සෙ අපි රෝගියා දෙසට නැඹුරු වෙලා, අපේ දෙ අත් මගින් රෝගියාගේ පපු අස්ථියේ මධ්‍යස්ථ කෙළවර පහළට තෙරපනවා. මෙතනදි අපේ දෙ අත් සෘජු ව තබා ගත යුතු යි. බලන්නකෝ මේ රූපය.





ඉරියව්ව පැහැදිලියි නේද ඔයාලට? මේ ආකාරයට අපි රෝගියාගේ පපු උසෙන් 1/3 ක ගැඹුරට, විනාඩියට වාර 100ක වේගයෙන් වාර 30 ක් පපුව තෙරපනවා. ඇත්තටම මේ පපුව තෙරපීමෙන් වෙන්නෙ මොකක්ද කියල ඔයාලට තේරෙයි මේ විඩියෝ එක බැලුවම.







ස්වසන වාර ලබාදීම


අපි කොච්චර පපුව තෙරපමින් මොළයට රුධිර සැපයුම පවත්වා ගත්තත් වැඩක් නෑ අපි සපයන රුධිරයේ යහමින් ඔක්සිජන් නැත්තන්. ඒ නිසා පපුව තෙරපමින් රුධිර සංසරණය පවත්වා ගන්න අතරම රෝගියාට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය ලබා දීමත් අතිශය වැදගත්. රෝගියෙකුට කෘතිමව ස්වසනය ලබා දිය හැකි ආකාර 3ක් තිබෙනවා.


1. මුවට මුව තබා 

2. නාසයට මුව තබා
3. නාසය සහ මුවට මුව තබා

සාමාන්‍ය ක්‍රමය තමයි මුවට මුව තබා ස්වසන වාර ලබා දීම. නමුත් මුඛය තුවාල වී ඇති විටෙක හෝ වස විස තැවරී ඇතැයි සැක කරන විට අපිට පුළුවන් මුඛය වසා, නාසයට මුව තබා ස්වසන වාර ලබා දෙන්න. ළදරුවන්ගේ කටයි නහයයි හරිම පුංචියිනේ. ඉතින් එයාගෙ කටට අපි කට තිබ්බම කොහොමත් එයාගෙ නහය වැහෙනවා. ඒ නිසා අපි එයාගෙ නහයයි කටයි දෙකම වැහෙන විදිහට අපේ කට තියල හුස්ම වාර ලබා දෙනවා. කොහොමද ස්වසන වාර ලබා දෙන්නෙ?


පපු තෙරපුම් වාර 30 ලබා දීල අවසන් වුණ වහාම අපි රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කරලා, රෝගියාගේ නළල මත තියෙන අපේ අතේ ඇඟිලි දෙකකින් රෝගියාගේ නාසය වහනවා. ඊට පස්සෙ ගැඹුරු හුස්මක් අරගෙන, රෝගියාගේ මුවට අපේ මුව තියලා ස්වසන වාරය ලබා දෙනවා. ඉන් පස්සෙ නැවතත් ගැඹුරු හුස්මක් අරගෙන දෙවන ස්වසන වාරය ලබා දෙනවා. මේ ආකාරයට සෑම පපු තෙරපුම් වාර 30කටම ස්වසන වාර 2ක් අපි ලබා දෙනවා. පැහැදිලියි නේද? මේ කියපු පපු තෙරපුම් වාර 30 සහ ස්වසන වාර 2 ලබා දෙන්නෙ කොහොමද කියල ඔයාලට තවදුරටත් පැහැදිලි වෙයි මේ විඩියෝ එක බැලුවම.


(අපි කිව්වා CPR ලබා දීමේදී හැකි සෑම අවස්ථාවකදීම ප්‍රථමාධාරකරු රෝගියාගේ දකුණු පසින් සිටිය යුතුයි කියලා. ඒකට හේතුව තමයි අපේ හෘදය උරස් කුහරයේ වම් පැත්තට මඳක් බර ව පිහිටා තිබීම. එතකොට අපි දකුණු පැත්තෙ ඉඳන් පපුව තෙරපද්දි තමයි උපරිම කාර්යක්ෂමතාවයෙන් තෙරපීම ලබා දෙන්න පුළුවන්. නමුත් අපිට රෝගියාගේ දකුණු පැත්තෙන් ළඟා වෙන්න බැරි මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් වම් පැත්තේ ඉඳන් CPR ක්‍රියාත්මක කළා කියල වරදක් නෑ. මේ විඩියෝ එකෙත් ප්‍රථමාධාරකරු ඉන්නෙ රෝගියාගෙ වම් පසින්.) 




පපු තෙරපුම් වාර 30 ලබා දුන්නට පස්සෙ නැවතත් ස්වසන වාර දෙකක් ලබා දෙනවා. ආයෙමත් පපු තෙරපුම් වාර 30 යි ස්වසන වාර දෙකයි. ඔය විදිහට කොච්චර වෙලා කරන්න ඕනෙද? හොඳට මතක තියාගන්න. CPR දෙන්න පටන් ගත්තට පස්සෙ එක්කෝ රෝගියා තනියම හුස්ම ගන්න තුරු, එහෙමත් නැත්තන් රෝගියාට වෛද්‍යාධාර ලබා දෙන තුරු දිගටම CPR ක්‍රියාත්මක කරන්න ඕනෙ. 


හරි.. ඔය තියෙන්නෙ සාමාන්‍යයෙන් අපි CPR ක්‍රියාත්මක කරන විදිහ. සාමාන්‍ය අවස්ථා වලදී අපි CPR ආරම්භ කරන්නෙ පපු තෙරපුම් වාර 30 කින්. ඉන් පස්සෙ තමයි ස්වසන වාර 2 ලබා දෙන්නෙ. නමුත් මේක වෙනස් වෙන විශේෂ අවස්ථාවක් තියෙනවා.



දියේ ගිලී ගොඩ ගත් රෝගීන් සහ දරුවන්/ ළදරුවන්


ජලයේ ගිලිලා ඉඳලා ගොඩ ගත්ත රෝගියෙක් ස්වසනය කරන්නෙ නෑ කියල කියන්නෙ, අපිට නිගමනය කරන්න සිදු වෙනවා මේ රෝගියා සැළකිය යුතු වේලාවක් ජලයේ ගිලී ඉඳල තියෙනවා කියලා. ජලයේ දියවෙලා තියෙන ඔක්සිජන් උරා ගන්න අපිට කරමල් නෑනෙ මාළුන්ට වගේ. එහෙනම්, ජලයේ ගිලිල හිටපු සම්පූර්ණ කාලය තුළදීම මේ රෝගියාගේ ශරීරයට ඔක්සිජන් ඇතුල් වෙලත් නෑ.. එහෙම නේද? එහෙනම්, පපුව තෙරපල මොළයට රුධිරය තල්ලු කළා කියල වැඩක් තියෙනවද ඔක්සිජන් නැත්තන්? අන්න ඒ නිසා ජලයේ ගිලිල ඉඳල ගොඩගත් රෝගියෙක්ට පපු තෙරපුම් වාර 30 ලබා දෙන්න කලින් අපි ස්වසන වාර පහක් (05) ලබා දෙනවා. ඉන් පස්සෙ පපු තෙරපුම් වාර 30 යි, ස්වසන වාර 02 විදිහට සුපුරුදු චක්‍රය ක්‍රියාත්මක කරනවා.


ළදරුවන් සහ දරුවන්ගේ ( දරුවන් කියල අපි ප්‍රථමාධාරයේ හඳුන්වන්නෙ වයස අවුරුදු 1 - 14 ත් අතර ළමයින්. ළදරුවන් විදිහට සළකන්නෙ වයස අවුරුද්දට අඩු අය. වයස අවුරුදු 14 ට වැඩි අය වැඩිහිටියන් යටතට තමයි ගැනෙන්නෙ.) ශරීර ප්‍රමාණය කුඩා නිසා එක් ස්වසන වාරයකදී සිරුර තුළට ඇතුල් කරගන්න ඔක්සිජන් පරිමාවත් වැඩිහිටියෙකුට සාපේක්ෂව අඩුයි. ඒ නිසා අපි දරුවන් සහ ළදරුවන්ටත් CPR ආරම්භ කරන්නෙ ස්වසන වාර 5 කින්. ඉන් පස්සෙ සුපුරුදු 30 : 2 චක්‍රය. පැහැදිලියි නේද?


ඒ වගේම වැඩිහිටියෙකුට පපු තෙරපුම ලබා දීමේදි අපි අත් දෙකම ඒ සඳහා පාවිච්චි කරනවා. ළමයින් සඳහා එක අතකුත්, ළදරුවන් සඳහා ඇඟිළි දෙකකුත් පාවිච්චි කරනවා. ළදරුවෙකුට CPR ලබා දීමේදි අපිට ළදරුවා අපේ එක අතක් සහ කකුල උඩ රඳවා ගෙන CPR ලබා දෙන්න පුළුවන්. එහෙමත් නැත්තන් බබාව මේසයක් උඩ වගේ තියලත් පුළුවන්.





වැඩිහිටි, ළමා සහ ළදරුවන් අතර මේ CPR ක්‍රියාත්මක කරන ආකාරයේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ තොරතුරු ටික පහළ රූප සටහනේ තියෙනවා.





ඔයාලට මතකද මම අපේ පළවෙනි ලිපියෙදිම කිව්වා මේ ලිපි පෙළ හරහා අපිට දෙන්න පුළුවන් දැනුම විතරයි, පුහුණුව ලබා ගන්න නම් අදාල පිළිගත් ආයතනයකට ගිහින් ඒ අදාල පාඨමාලාවන් සම්පූර්ණ කරන්න ඕනෙ කියල. දැන් ඔයාලට තේරෙනව ඇති මම එදා කියපු දේ. පපු තෙරපුම දෙන්නෙ මෙහෙමයි, ස්වසන වාර දෙන්නෙ මෙහෙමයි කියල කිව්වට වඩා ලොකු අවබෝධයක් ගන්න පුළුවන් ප්‍රායෝගික පුහුණු වැඩමුළුවකට සහභාගි වුණාම. ඒ නිසා මම නැවතත් අවධාරණය කරනවා, හොඳ ප්‍රථමාධාරකරුවෙක් වෙන්න නම් විධිමත් පුහුණුව අත්‍යාවශ්‍ය යි. මොකද මේ කරන හැම ක්‍රියාකාරකමකදීම, ප්‍රථමාධාරකරු ඉඳගන්න විදිහේ පවා ක්‍රමයක් තියෙනවා සහ එහෙම කරන්න හේතුවක් තියෙනවා. ඒ නිසා විධිමත් පුහුණුවක් ලබා ගැනීම ඉතා ම වැදගත්

මූලික ක්‍රමවේදය 1

මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support

ආයුබෝවන් ! හැමෝම දෙයියනේ කියල සැපෙන් සනීපෙන් ඉන්නවා ඇති කියල හිතනවා. ටිකක් රාජකාරි බහුල වුණ නිසා දවස් දෙකකින් ලිපියක් පළ කරන්න බැරි වුණා. කොහොම වුණත් ඔන්න අද ආවා අළුත් ලිපියක් අරගෙන. අපි ඉතාමත් සතුටුයි ඔබට දැනුම් දෙන්න, මේ බ්ලොග් අඩවිය ආරම්භ කරලා සතියක් වගේ කාලයක් ඇතුළත අපේ බ්ලොග් එකට 400 කට වැඩි පිරිසක් ඇවිත් තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා, බ්ලොග් එකට ඇවිත් නිකන්ම යන්නෙ නැතිව මේකෙ පළවෙන ලිපි එහෙමත් කියවන්ට ඇති කියල. ඉතින් ඔයාල මේ ලිපි කියෙව්වනම්, ඒ ගැන ඔබේ අදහස් අපිට කියන්න. ඒක අපිට ලොකු ශක්තියක් වගේම සතුටක්.

හොඳයි.. අද අපේ කතා බහ වෙන් වන්නේ, "මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය" කියන මාතෘකාව සම්බන්ධව. කලින් ලිපියෙදි අපි කතා කළානෙ මූලික විනිශ්චය කියන්නෙ මොකක්ද කියලා. නිශ්චලව වැටී සිටින රෝගියෙකුගේ මූලික ජෛව සාධක ක්‍රියාත්මකදැයි බැලීම තමයි මූලික විනිශ්චය කියල කියන්නෙ. අපි කිව්වනෙ ප්‍රථමාධාරයේදී ගැටයක් ගහන්නෙත් පිළිගත් න්‍යායයන් සහ ක්‍රමවේදයන්ට අනුව කියලා? මූලික විනිශ්චය සිදු කරන අන්න ඒ පිළිගත් ක්‍රමවේදය අපි DRABC කියල හඳුන්වනවා. මේ ඉංග්‍රීසි අකුරු පහෙන් දැක්වෙන්නෙ, මූලික විනිශ්චයේදි එහෙමත් නැත්තන් නිශ්චලව වැටී සිටින රෝගියෙක් හමු වූ විට ප්‍රථමාධාරකරුවෙක් ක්‍රියා කළ යුතු ආකාරය. අපි බලමු එකින් එක, මොකක්ද මේ DRABC කියන්නෙ කියලා.

D  -  Danger  -  අනතුර හඳුනා ගන්න / ආරක්ෂිතව ළඟා වන්න


මතකද ? ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් ලිපියෙදි අපි කතා කළා ආරක්ෂාව කියල එකක් ගැන. මෙතනදිත් මූලිකව අදහස් වෙන්නෙ ඒකම තමයි. රෝගියා අසලට යාමෙන් තමන්ට අනතුරක් තියෙනවද කියල පරික්ෂා කරන්න. ඊළඟට අවට සිටින අයට යම් අනතුරක් තිබේද කියල බලන්න. තෙවනුව රෝගියාට තව දුරටත් අනතුරක් විය හැකි යමක් තිබේදැයි පරික්ෂා කරන්න. රෝගියාට තව දුරටත් අනතුරක් තියෙනවා නම්, ඒක ඉවත් කරන්න ඕනෙ. හැබැයි රෝගියාගේ අනතුර ඉවත් කරනවා කියල තමුන් අනතුරේ වැටිය යුතු නැහැ. එහෙම වුණොත් අර කලින් තමන්ට අනතුරක් තියෙනවද කියල මහ ලොකුවට පරික්ෂා කරපු එකෙන් වැඩක් නෑ නේද? ඒක හොඳට මතක තියාගන්න. රෝගියාට තිබෙන අනතුර ඉවත් කිරීම ප්‍රධාන ආකාර දෙකකින් කරන්න පුළුවන්.

1. රෝගියා අනතුරෙන් ඉවත් කිරීම
2. අනතුර රෝගියාගෙන් ඉවත් කිරීම

උදාහරණයක් විදිහට අපි හිතමු මනුස්සයෙක්ව වැවේ ගිලෙන්න යනවා කියල. අනතුර රෝගියාගෙන් ඉවත් කරන්න පුළුවන් ද? එහෙනම් ඉතින් වැව හින්දන්න තමයි වෙන්නෙ. අල්ලා ගත හැකි පාවෙන යමක් රෝගියා දිහාට විසික් කරල හෝ කඹයක් විසික් කරලා හෝ අපිට පුළුවන් අනතුරට පත් වෙලා ඉන්න කෙනාව බේරගන්න. පීනන්න දන්නෙත් නැත්තන්, මුදවා ගැනීම් ක්‍රම ගැන අවබෝධයකුත් නැත්තන් වැවට පැනල වීරයා වෙන්න හදන්න නම් එපා ඔන්න. අන්තිමට වීරයා මැරිලා කියල තමයි කියන්න වෙන්නෙ. තමුන්ගෙ ආරක්ෂාවටයි පළමු තැන. මෙතනදි අපි කළේ රෝගියාව අනතුරෙන් ඉවත් කරන එක. ඊළඟට අපි හිතමු විදුලි සැර වදින අවස්ථාවක්. මේ වගේ වෙලාවකදි රෝගියා අනතුරෙන් ඉවත් කරන්න ගියොත් අපිටත් විදුලි සැර වදින්න තියෙන අවස්ථාව හුඟක් වැඩියි. ඒ නිසා කරන්න පුළුවන් හොඳම දේ තමයි විදුලි සැපයුම විසන්ධි කරන එක. එතනදි වෙන්නෙ, අනතුර රෝගියාගෙන් ඉවත් කිරීමක්. පැහැදිලියි නේද?

රෝගියාට ළඟා වීමෙන් තමන්ට අනතුරක් නෑ කියල තහවුරු කරගත්තට පස්සෙ අපිට පුළුවන් රෝගියා ළඟට යන්න.

R  -  Response  -  ප්‍රතිචාර පරික්ෂා කරන්න


රෝගියා ළඟට ගියාට පස්සෙ අපි එයාට කතා කරල බලනවා. "ඔයාට මාව ඇහෙනවද? ඇස් අරින්න.. මං දිහා බලන්න" දෙතුන් වරක් කතා කළාට පස්සෙත් රෝගියාගෙන් ප්‍රතිචාරයක් නැත්තන් අපි එයාගෙ උරහිස ළඟින් දණ ගහගෙන උරහිස් දෙකට අපේ අත් දෙක තියලා, එයාගෙ උරහිස සොලවමින් ආපහු කතා කරනවා. මෙතනදි අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් තියෙනවා. රෝගියා අසලින් දණ ගහගනිද්දි අපි හැකි සෑමවිටම රෝගියාගේ දකුණු පැත්තෙන් තමයි ඉන්න ඕනෙ. (ඒකට හේතුව මම පසුව කියන්නම් ) දෙවැනි කරුණ තමයි අපි රෝගියාට කතා කරනකොට එයාගෙන් අහන්න ඕනෙ එයාට පිළිතුරු දෙන්න පුළුවන් සරල ප්‍රශ්න. ඔයාට මොකද වුණේ, කාත් එක්කද ආවෙ වගේ ප්‍රශ්න අපි අනුමත කරන්නෙ නෑ. 

බලන්න මේ ප්‍රශ්න දිහා. "හලෝ... ඔයාට මාව ඇහෙනවද? ඇස් අරින්න බලන්න" කොච්චර අමාරු වුණත්, ලෙඩාට අපි කියන දේ ඇහෙනවනම් එයා යන්තමින් හරි ඇස් ඇරල බලයි. එයාට එච්චර අමාරුවක් නැත්තන් එයා බොහොම සතුටුදායක පිළිතුරක් දෙයි. ඒ වගේම, උරහිසෙන් අල්ලා සොලවමින් කතා කරනවා කිව්වම අපි අර කුල්ලෙන් හාල් පොලනවා වගේ උරහිසෙන් අල්ලල හොල්ලන්නෙ නෑ. මෙයා ලෙඩෙක්..අපිට බැලු බැල්මට නොපෙනෙන තවත් ආබාධ තියෙන්න පුළුවන්. ඒ නිසා හරි පරිස්සමින් අපි කටයුතු කරන්න ඕන. මෙතනදි අපි කරන්නෙ රෝගියාගෙ උරහිස උඩින් අත් දෙක තියාගෙන අතේ ඇඟිලි වලින් උරපතු ටිකක් තද කරන එක. අපි මේ දෙන්නෙ සියුම් වේදනාවක්. ඒ වේදනාවට එයා ප්‍රතික්‍රියාවක් දැක්වුවොත් වැඩේ හරි. බලන්නකෝ මේ පින්තූරෙ දිහා. එතකොට පැහැදිලි වෙයි.


රෝගියා ළදරුවෙක් නම්, අපි එයාගෙ උරහිසෙන් අල්ලලා හොල්ලන්නෙ නෑ. අපි කරන්නෙ එයාගෙ යටි
පතුල් පිරිමදින එක. එතකොට ළදරුවාට සිහිය තියෙනවා නම්, එයා කකුල හොලවයි, අඬයි.. මොකක් හරි ප්‍රතිචාරයක් අපිට දකින්න ලැබෙයි. බලන්නකෝ මේ රූපය, ළදරුවෙකුගේ ප්‍රතිචාර පරික්ෂා කරන ආකාරය.

ඇත්තටම අපි මෙතනදි කරන්නෙ බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට මේ රෝගියා ප්‍රතිචාර දක්වනවද කියල බලන එක. අපේ කටහඬ කියන්නෙ උත්තේජයක්. කවුරු හරි ශබ්ද නගල කතා කළොත් අපි හැරිල බලනව නේද? වේදනාව කියන්නෙ උත්තේජයක්. කවුරු හරි බස් එකේදි කකුල පෑගුවොත් අපි අපි රවල බලනවා. නේද? ඒ කියන්නෙ අපි ස්වයංක්‍රීයව හෝ හිතා මතා උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවා. මෙතනදි, අපි රෝගියා ප්‍රතිචාර දක්වනවද කියල බැලුවෙ මෙන්න මෙහෙම. මේකට අපි කියනවා AVPU ක්‍රමවේදය කියලා.

A - Alert - අපි ඔය සාමාන්‍ය කතා බහේදිත් කියන්නෙ alert එකේ ඉන්න කියලා? ඒකම තමයි මෙතනත්. බාහිර පරිසරයේ වෙන දේවල් ගැන මෙයා දැනුවත් ද? අපි ඈත ඉඳන් කතා කළාට මෙයාගෙ ප්‍රතිචාරයක් තිබුණෙ නෑ නේද? එහෙනම් මෙයා alert නෑ..

V - Voice - කටහඬට ප්‍රතිචාර දක්වනවද කියලයි මේ බලන්නෙ. සමහර විට ඈත ඉඳන් කතා කරද්දි බැලුවෙ නැත්තෙ මෙයාට ඇහුණෙ නැතුව වෙන්නත් පුළුවන්නෙ. බලමු ළඟට ගිහින් කතා කරල.... ම්හු... ඒත් නෑ..

P - Pain - අපි අර රෝගියාගෙ උරහිස සොලවලා බැලුවෙ මේක තමයි. මේ වැටිල ඉන්න කෙනා වේදනාවට ප්‍රතිචාර දක්වනවද කියලා. ඒත් නෑ නේද?

U - Unresponsiveness - ඔය A,V, P කියන අකුරු තුනේ තියෙන දේවල් කරලා ඉවර වෙද්දිත් රෝගියාගෙන් පිළිතුරක් නෑ කියන්නෙ මේ ඉන්නෙ බාහිර පරිසරයට ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් කියල අපිට තීරණය කරන්න වෙනවා. මෙයා බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම නැවතිලා. වෙනත් වචන වලින් කිව්වොත් මෙයාට සිහිය නෑ.. ඉතාම සරල සිංහලෙන් කිව්වොත් මේ රෝගියා සිහි විසඥ වෙලා. විසඥතාව කියල කියන්නෙ ප්‍රථමාධාරයේ වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථා කිහිපයෙන් එකක්. ඒ නිසා රෝගියාට සිහිය නෑ කියල ඔබ තීරණය කරපු ගමන් ම, උදව් ඉල්ලල වටේ පිටේ ඉන්න අයට කතා කරන්න අමතක කරන්න එපා. මොකද ඒ අයගේ සහාය අපිට ඉදිරියට බොහෝම වැදගත් වෙනවා.

බැරි වෙලාවත් රෝගියා ප්‍රතිචාර දැක්වුවොත්? එහෙම වුණොත් අපිට පුළුවන් රෝග විනිශ්චය සිදු කරලා, අවශ්‍ය ප්‍රථමාධාර ලබා දෙන්න. ඒක කරන්නෙ කොහොමද කියල අපි ද්විතියික විනිශ්චය පාඩමේදි කතා කරමු. අපිට මේ හමුවෙලා තියෙන්නෙ ප්‍රතිචාර නොදක්වන රෝගියෙක් කියල හිතාගෙන, මේ පාඩමේ ඉතුරු කොටස් ටික අපි කතා කරගෙන යමු.

හොඳයි.. රෝගියා ප්‍රතිචාර දක්වන්නෙ නෑ.. ඒ කියන්නෙ සිහිය නෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මූලික විනිශ්චයේ ඊළඟ පියවරට යන්න.

A  -  Open Airway  -  ස්වසන මාර්ගය විවෘත කරන්න




යම් පුද්ගලයෙක් අසිහි තත්ත්වයෙන් වැටිල ඉන්නකොට, එයාගෙ දිව ආපස්සට වැටිලා එයාගෙ ස්වසන මාර්ගය අවහිර වෙන්න පුළුවන්. බලන්නකො උඩ තියෙන රූප සටහන දිහා. එතකොට පැහැදිලි වෙයි කොහොමද මේක වෙන්නෙ කියලා. ඔයාල හැමෝම කවදාහරි හෝස් එකකින් වතුර දාල ඇතිනේ? ඔයා වතුර දාමින් ඉන්නකොට කවුරුහරි හෝස් එකේ කොතනහරි තැනක් පෑගුවොත් එහෙම, වතුර එන එක නතර වෙනවා නේද? අන්න ඒ වගේම මේ දිව ආපස්සට වැටුණම ඒකෙන් අපේ ස්වසන මාර්ගය අවහිර වෙලා වායු හුවමාරුවට බාධා ඇති වෙනවා. ඉතින් අපිට අසිහි තත්ත්වයෙන් ඉන්න රෝගියෙක් හමු වුණාම පළමුවෙන්ම කළ යුතු දේ තමයි එයාගෙ ස්වසන මාර්ගය විවෘතව තබා ගැනීම.

අපේ වම් අත රෝගියාගේ නළල මත තියලා, දකුණු අතේ ඇඟිලි දෙකක් රෝගියාගේ නිකට මත තබා එසවීමෙන් අපිට රෝගියාගේ ස්වසන මාර්ගය විවෘත කරන්න පුළුවන්. රූප සටහන බලන්නකෝ ආයෙමත්, එතකොට පැහැදිලි වේවි. ඔබට මේ ක්‍රියාවලිය වඩාත් පැහැදිලි වීම සඳහා Youtube එකෙන් හොයාගත්තු විඩීයෝ එකකුත් මම පහළින් දාලා තියෙනවා.



පැහැදිලියි නේද? ස්වසන මාර්ගය විවෘත කළාට පස්සෙ අපි යනවා ඊළඟ පියවරට.


B  -  Check Breathing  -  ස්වසනය පරික්ෂා කරන්න


දැන් අපි රෝගියාගේ ස්වසන මාර්ගයත් විවෘත කරල තියෙන නිසා අපිට පුළුවන් රෝගියා හුස්ම ගන්නවද කියල පරික්ෂා කරල බලන්න. ස්වසන මාර්ගය විවෘත කරගෙන ඉන්න ගමන්ම රෝගියා වෙත පහත් වෙලා අපේ කණ රෝගියාගේ නාසය වෙත ළං කරලා, රෝගියාගේ පපුව දිහා තත්පර 10ක කාලයක් බලාගෙන ඉඳල අපිට පුළුවන් රෝගියා හුස්ම ගන්නවද නැද්ද කියල තීරණය කරන්න.

මේ ස්වසනය පරික්ෂා කරන ක්‍රමයට අපි LLF කියලත් කියනවා.

L  -  Look
L  -  Listen
F  -  Feel

රෝගියා හුස්ම ගන්නවා නම්, රෝගියාගෙ පපුව දිහා බලාගෙන ඉද්දි අපිට පපුව ඉහළ පහළ යනවා අපේ ඇස් දෙකට පේනවා (Look). ඒ වගේම අපේ කණ රෝගියාගේ නාසයට ළං කරගෙන ඉන්න නිසා රෝගියා හුස්ම ගන්න ශබ්දය අපිට ඇහෙනවා (Listen). ඒත් එක්කම අපේ කම්මුලට රෝගියාගෙ ප්‍රශ්වාස වාතයේ උණුසුම දැනෙනවා (Feel). සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියෙක් මිනිත්තුවකට 12 - 20 අතර වාර ගණනක් හුස්ම ගන්නවා. ළමයින් සහ ළදරුවන් ඊට වඩා වැඩි වාර ගණනක් හුස්ම ගන්නවා. එහෙනම් තත්පර 10 ක කාලයක් බලාගෙන හිටියම, අඩුම තරමේ කී පාරක් රෝගියාගේ ස්වසනය අපිට දැනෙන්න ඕනෙද?

පහේ පංතියේ ගණිත ගැටළුවක් නේද? මිනිත්තුවක් කියන්නෙ තත්පර 60 යි. තත්පර 60 කට අවම වශයෙන් වාර 12 යි නම්, තත්පර 10 කට අවම වශයෙන් වාර කීයද? වාර 2 යි. ඒ කියන්නෙ මේ රෝගියා ස්වසනය කරනවා නම්, තත්පර 10 ක කාලය ඇතුළත අනිවාර්යෙන්ම වාර දෙකක් හුස්ම ගන්න ඕනෙ. එහෙනම් LLF කියන ක්‍රමය හරහා තත්පර 10 ක් ඇතුළත ආකාර 3 කින් අපි රෝගියාගේ ස්වසනය පරික්ෂා කරනවා. පැහැදිලියි නේද?

C  -  Check Circulation  -  රුධිර සංසරණය පරික්ෂා කරන්න


රෝගියා ස්වසනය කරනවා නම්, අපි වැඩි හොඳට එයාගෙ රුධිර සංසරණයත් පරික්ෂා කරලා බලනවා. ඒකෙන් අපිට තහවුරු කරගන්න පුළුවන් රෝගියාගෙ රුධිර සංසරණයේ ගැටළුවක් තියෙනවාද කියලා. මතකයි නේද රුධිර සංසරණය සහ ස්වසනය අතර සම්බන්ධතාව? එකක් නැවතුනොත් අනිකත් නවතිනවා. ඒ නිසා රෝගියා රෝහල්ගත කරන තුරු වරින් වර රුධිර සංසරණය පරික්ෂා කිරීම වැදගත්.

කොහොමද රුධිර සංසරණය පරික්ෂා කරන්නෙ? දැකල තියෙනවා නේද වෛද්‍යවරු නාඩි බලනවා? ඒ කරන්නෙ රුධිර සංසරණය පරික්ෂා කරන එක තමයි. අපිට නාඩි පරික්ෂා කරන්න පුළුවන් ස්ථාන කිහිපයක් තියෙනවා අපේ ශරීරයේ.


ඒ අතරින් මෙන්න මේ ස්ථානවල නාඩි පරික්ෂා කරන්න පුළුවන් බොහොම පහසුවෙන්ම. (ඔය සමහර තැන්වල නාඩි පරික්ෂා කරන්න යන එක නම් ඔයාගෙ නාඩි වලට එච්චර හොඳ නැති වෙයි හැබැයි )



සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියෙකුගේ නාඩි වේගය මිනිත්තුවකට වාර 60 - 80 ත් අතර වෙනවා. රෝගියා හුස්ම ගන්නවා නම්, අපි මේ රෝගියාට සිහිය නැති වෙලා විතරයි තියෙන්නෙ කියල තීරණය කරලා, රෝගියාගේ රුධිර සංසරණය පරික්ෂා කරලා, රෝගියාව ආරක්ෂිත ඉරියව්ව කියන විශේෂ ඉරියව්වට පත් කරලා රෝහල් ගත කරනවා. ඒ අතරෙදිත් රෝගියාගේ ස්වසනය සහ හෘද ස්පන්දනය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටීම ඉතා වැදගත්.

රෝගියා ස්වසනය නොකරයි නම්,

C  -  Chest Compression / CPR


රෝගියා හුස්ම ගන්නෙ නැත්තන් අපි වහාම වටපිටාවේ ඉන්න කට්ටියව දැනුවත් කරනවා "මේ ලෙඩා හුස්ම ගන්නෙ නෑ.. පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලෙට ගෙනියන්න ඕනෙ. වාහනයක් ලෑස්ති කරන්න / ඇම්බියුලන්ස් එකට කතා කරන්න" කියලා. (දැන් තේරෙනවා නේද අර ප්‍රතිචාර පරික්ෂා කරන වෙලාවෙ රෝගියා ප්‍රතිචාර දැක්වුවේ නැති වුණාම උදව් ඉල්ලලා කෑ ගැහුවෙ ඇයි කියලා? )

ඒ උපදෙස් ටික ලබා දීලා, වහාම අපි ඊළඟ අදියරට එළඹෙනවා. ස්වසනය පරික්ෂා කරන අවස්ථාවෙන් ලැබෙන ප්‍රතිඵලය අනුව රෝගියාට ප්‍රථමාධාර ලබා දෙන ක්‍රමවේදය අපි හඳුන්වනවා "මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය - Basic Life Support " කියලා. මතකද අපි කලින් ලිපියේ සඳහන් කළා "මූලික ජෛව සාධක" ගැන? අන්න ඒ මූලික ජෛව සාධක රෝගියාට ලැබෙන එක තහවුරු කිරීම තමයි මේ මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදයෙන් අපි කරන්නෙ. තවත් සරලව කිව්වොත් රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය පවත්වාගෙන යාම. රෝගියාගේ ස්වසනය සහ රුධිර සංසරණය පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය අපි " හෘත් පෙණහැලි ප්‍රති ප්‍රබෝදනය - Cardio Pulmonary Resuscitation " කියල හඳුන්වනවා. කෙටියෙන් CPR කියන්නෙත් මේ ක්‍රියාවලියටම තමයි.

හොඳට මතක තියාගන්න, දැන් අපිට ඉන්නෙ ස්වසනය නතර වෙච්ච රෝගියෙක්. ප්‍රථමාධාරයේ වහාම ක්‍රියාත්මක විය යුතු අවස්ථා අතරින් ඉස්සෙල්ලාම කියවෙන අවස්ථාවෙ තමයි ඔබ දැන් ඉන්නෙ. ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඔබ ඉක්මන් වෙන තරමට, රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ සම්භාවිතාවත් වැඩි වේවි. බලන්නකෝ මේ පහළ තියෙන රූප සටහන දිහා. මේකෙ දැක්වෙන්නෙ ස්වසනය නතර වෙලා විනාඩි 10 ක් ඇතුළත ආරම්භ කිරීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ හැකියාව විචලනය වෙන ආකාරය.


ස්වසනය නතර වෙලා පළමු විනාඩියේදි 95 % ක් තරම් ඉහළ අගයක තියෙන ජීවිතය බේරා ගැනීමේ හැකියාව, විනාඩි 4ක් ගත වෙද්දි 50 % ක් දක්වා අඩු වෙනවා. විනාඩි 8ක් ගත වෙද්දි එය 3% ක් දක්වා අඩු වෙනවා. ඒ නිසාම තමයි යමෙකුගේ ස්වසනය නතර වී ගතවෙන පළමු විනාඩිය ප්‍රථමාධාරයේදී Golden Minute of survival කියල හඳුන්වන්නෙ. මේ රූප සටහන බලපුවම ඔබට තේරෙනව ඇති ස්වසනය ඇණ හිටි අවස්ථාවකදී වහාම ක්‍රියාත්මක වීම කොච්චර වැදගත් ද කියලා.

එහෙනම් ඊළඟට වහාම අපි කරන්නෙ නතර වෙලා තියෙන ස්වසනය සහ හෘද ස්පන්දනය කෘතිමව ක්‍රියාත්මක කරවන එක

මූලික විනිශ්චය

මූලික විනිශ්චය - Primary Survey

ආයුබෝවන් ! හැමෝම සනීපෙන් ඉන්නවා නේද? ගමින් ගම, දොරින් දොර ප්‍රථමාධාර දැනුම බෙදා දෙන අපේ ගමනේ තවත් අළුත් ලිපියක් අරගෙන ඔන්න අපි අදත් ආවා. පහුගිය ලිපියෙන් අපි කතා කළා "රෝගී කළමනාකරණ පටිපාටිය" පිළිබඳව. මතකයිද මොකක්ද කියලා? සරලව කිව්වොත් අපිට යම් රෝගියෙක් හමුවුණාට පස්සෙ රෝගියා රෝහල්ගත කරන තෙක් ප්‍රථමාධාරකරුවෙක් අනුගමනය කරන සම්පූර්ණ ක්‍රියා පිළිවෙත තමයි රෝගී කළමනාකරණ පටිපාටිය කියල කියන්නෙ. මේ දිග හැරෙන්නෙ "First Aid for Life - එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර" ලිපි මාලාවේ හත්වැනි ලිපිය. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ "මූලික විනිශ්චය" කියන, ප්‍රථමාධාරයේ එන අතිශය වැදගත් පාඩමක් ගැන.

ආරම්භයේදීම මම ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මනුස්සයෙකුට ජීවත් වීම සඳහා අත්‍යාවශ්‍ය සාධක මොනවාද?

වාතය? ජලය? ආහාර? ඇඳුම්? ඉන්න ගෙයක්? ඇයි අප්පේ කසාදයක්?? 

බලන්නකෝ මේ රූප සටහන දිහා.




මොකක්ද මේ තියෙන්නෙ කියල හිතාගන්න පුළුවන්නෙ නේද? මේ තියෙන්නෙ අපේ ගෙදර වතුර ලබාගන්න විදිහ. වතුර ඕනෙ තරම් තියෙනවා ළිඳේ. ළිඳෙන් හැම වෙලාවෙම වතුර ඇද ඇද ඉන්න එක කරදර නිසා අපි තීරණය කළා නළ ජලය ලබාගන්න පුළුවන් විදිහට මේක වැඩිදියුණු කරන්න. අපේ බාසාවෙන් කිව්වොත් "ටැප් කරන්න". දැන් ඇත්තටම මොකක්ද මෙතන වෙන්නෙ? වතුර තියෙන්නෙ ළිඳේනෙ.. ඒත් අපිට වතුර ගන්න ඕනෙ ගෙදර තියෙන එක එක තැන් වලට. ළිඳේ තියෙන වතුර උඩට ගන්න නම් නළ මාර්ගයක් තියෙන්න ඕනෙ. හැබැයි ළිඳ ඇතුළට බටයක් දැම්මා කියල වතුර නිකන්ම බටේ දිගේ උඩට එන්නෙ නෑනෙ. ළිඳේ තියෙන වතුර, බටේ දිගේ උඩට ගන්න නම් බාහිරින් මොකක් හරි බලයක් දෙන්න වෙනවා. වතුර පොම්පයක් එහෙම නැත්තන් මෝටරයක් සවි කිරීමෙන් අපිට පුළුවන් ඒ කාර්යය ඉෂ්ඨ කරගන්න. වතුර උඩට ගත්තට පස්සෙ අපි ඒ වතුර, ටැංකියක ගබඩා කරල තියාගන්නවා. ඊට පස්සෙ ගෙදර ජලය අවශ්‍ය තැන් වල ඉඳන් ආයෙමත් නළ සවි කරල, ඒ නළ සම්බන්ධ කරනවා වතුර ටැංකියට. එහෙනම් දැන් ඔබ මට කියන්න ඔය උඩ රූප සටහනේ තියෙන විදිහට හිතුවොත් අපේ නාන කාමරයට වතුර ලබා ගන්න නම්, සම්පූර්ණ වෙන්න ඕන සාධක මොනවාද?

1. ළිඳේ වතුර තියෙන්න ඕනෙ. (වතුර තියෙනවා. වතුර නැත්තන් ඒකට අපි කියන්නෙ ළිඳක් කියල නෙමෙයි, වලක් කියලා )
2. ළිඳේ වතුර උඩට ගන්න බලය සපයන මෙවලමක් තියෙන්න ඕනෙ. (මෝටරය/ පොම්පය )
3. නිවසේ එක් එක් ස්ථාන වෙත වතුර ටික අරගෙන යන්න නළ පද්ධතියක් තියෙන්න ඕනෙ.

දැන් මේ ටික තිබුණම හරිද? ටැප් එක ඇරියම වතුර එනවද? අර ටැංකියේ තියෙන වතුර ටික ඉවර වෙනකම් ටැප් එකෙන් වතුර එයි. ඊට පස්සෙ?? නොකඩවා වතුර ලබා ගන්න නම් ළිඳෙනුත් නොනවත්වාම වතුර ඉහළට පොම්ප කළ යුතුයි. (මේක හැමතිස්සෙම කරන්න බැරි නිසා තමයි උස ටැංකියක වතුර ගබඩා කරල තියාගන්නෙ. ) ඒ නිසා මෝටරය සවි කරල නිකන් බලන් හිටියට වැඩක් නෑ මෝටරය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තන්. මෝටරය වරින් වර ක්‍රියාත්මක නොවුණොත් ටැප් එකෙන් වතුර එන්නෙත් නෑ. ඒ නිසා අපිට තව 4 වෙනි සාධකයකුත් මේ ලැයිස්තුවට එකතු කරන්න පුළුවන්.

4. බලය සපයන පොම්පය ක්‍රියාත්මක විය යුතු යි.

මේ සඳහන් කරපු සාධක හතර, මහ පුදුමාකාර විදිහට එකිනෙකට සම්බන්ධයි. ළිඳේ වතුර තිබුණට වැඩක් නෑ වතුර ගමන් කරන්න නළ පද්ධතියක් නැත්තන්. නළ පද්ධතියක් තිබුණට වැඩක් නෑ ළිඳේ වතුර නැත්තන්. ළිඳේ වතුරයි, හොඳ නළ පද්ධතියකුයි තිබුණට වැඩක් නෑ මෝටරය ක්‍රියාත්මක වෙලා ඒ නළ දිගේ ජලය ගමන් කරවන්න බලය දෙන්නෙ නැත්තන්. ආයෙත්, මෝටරය ක්‍රියාත්මක වුණාට වැඩක් නෑ ළිඳේ වතුර නැත්තන් සහ නළ පද්ධතිය දෝෂ සහිත නම්. උදාහරණයක් විදිහට නාන කාමරේට වතුර අරන් එන බටේ මොකක් හරි හේතුවක් නිසා මගදි කැඩුණොත් මෝටරෙන් කොච්චර වතුර එව්වත් නාන කාමරේට වතුර එන්නෙ නෑ නේද?? පැහැදිලියි නේද? 

හරි.. අපි නැවතත් හැරෙමු අර මම මුලින්ම අහපු ප්‍රශ්නය දිහාට. මනුස්සයෙක්ට ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය සාධක මොනවාද? ඔබ දෙන පිලිතුරු අතරෙ, ඔක්සිජන් සහ ජලය කියන උත්තර දෙක උඩින් ම තියෙවි කියල මම විශ්වාස කරනවා. ඒ පිලිතුරු දෙක වැරදි නැහැ. නමුත් වතුර නොබී අපිට පැය දෙක තුනක කාලයක් කිසි අමාරුවක් නැතිව ඉන්න පුළුවන්. නමුත් ඔක්සිජන් නැතුව පැය කීයක් ඉන්න පුළුවන් ද ඔබට?

මම තව ප්‍රශ්නයක් අහන්නම් ඔබෙන්. ළිඳේ වතුර තිබුණා කියල, ටැප් එකෙනුත් වතුර එනවද? නෑ නේද? ටැප් එකෙන් වතුර එන්න නම් මෝටරය ක්‍රියාත්මක විය යුතුයි. අන්න ඒ වගේම තමයි, අවට පරිසරයේ ඔක්සිජන් තිබුණට වැඩක් නෑ ඒ ඔක්සිජන් අපේ ඇඟ ඇතුළට ගන්න ක්‍රමයක් නැත්තන්. ඇඟ ඇතුළට ගත්තත් වැඩක් නෑ, ඒ ඔක්සිජන් ශරීරය පුරා බෙදා හරින්න ක්‍රමයක් නැත්තන්. 

එහෙනම් දැන් ඔබට මනුස්සයෙක්ට ජීවත්වීම සඳහා අත්‍යාවශ්‍ය සාධක දෙකක් ගැන ඉවෙන් වගේ තේරෙන්න ඕනෙ. පළවෙනි එක තමයි, අවට පරිසරයේ තිබෙන ඔක්සිජන් අපේ ශරීරය තුළට ගැනීමේ ක්‍රියාවලිය නොහොත් ස්වසනය (ආශ්වාසය සහ ප්‍රශ්වාසය කියන දෙකම අපි පොදුවේ හඳුන්වනවා ස්වසනය කියලා ). අපි නාසයෙන් හුස්ම ගත්තට, අපේ කකුලෙ ඇඟිල්ලක කෙළවරේම තියෙන සෛලයටත් ඔක්සිජන් අවශ්‍යයි. එහෙනම් නාසයෙන් ඇතුල් කරගත්ත ඔක්සිජන් ශරීරයේ සෑම තැනකටම බෙදා හරින්න ඕනෙ. ඔබ දන්නවා අපේ ශරීරයේ ඔක්සිජන් පරිවහනය වෙන්නෙ ලේ වල දිය කරගෙන කියලා. එහෙනම්, පෙණහැලි වලදී ඔක්සිජන් කලවම් කරගත්තු ලේ වලට, රුධිර නාලිකා දිගේ ඉහළට පහළට තල්ලු වෙන්න යම් බලයක් අවශ්‍ය යි. අර ළිඳේ තියෙන වතුර, නළ දිගේ ඉහලට ගන්න අවශ්‍ය බලය වතුර පොම්පය මගින් ලබා දෙනවා වගේ, අපේ ශරීරය පුරා ධමනි, ශිරා, කේශ නාලිකා (මේ තමයි අපේ ශරීරයේ බට ලයින් එක ) දිගේ රුධිරය ගමන් කරවන්න අවශ්‍ය බලය සපයන්නෙ හෘදය මගින්. හෘදය මගින් අපේ ශරීරය පුරා රුධිරය ගමන් කරවන ක්‍රියාවලියට තමයි අපි රුධිර සංසරණය කියන්නෙ. එහෙනම් මොකක්ද දෙවෙනි සාධකය? ඔක්සිජන් කලවම් කරගත්තු රුධිරය ශරීරය පුරා ගමන් කරවීම එහෙම නැත්තන් රුධිර සංසරණය සිද්ධ වෙන්න ඕනෙ. තවත් විදිහකින් කිව්වොත් හෘද ස්පන්දනය සිදු වෙන්න ඕනෙ. 

එහෙනම් කියන්න බලන්න මනුස්සයෙක්ට ජීවත් වීම සඳහා අත්‍යාවශ්‍ය සාධක දෙක. ස්වසනය සහ රුධිර සංසරණය. ස්වසනය කළාට වැඩක් නෑ ආශ්වාසයෙන් ලබා ගන්න ඔක්සිජන් සිරුර පුරා සංසරණය වෙන්නෙ නැත්තන්. රුධිර සංසරණය සිද්ධ වුණාට වැඩක් නෑ බෙදා හරින්න ඔක්සිජන් නැත්තන්. ඒ නිසා, ස්වසනය සහ රුධිර සංසරණය යන ක්‍රියාවලි දෙකෙන් එකක් හරි නතර වෙනවා කියන්නෙ ඒ පුද්ගලයාට බරපතල ජීවිත අවදානමක් තියෙනවා කියන එක. අන්න ඒ නිසා ස්වසනය සහ රුධිර සංසරණය කියන දෙක අපි ප්‍රථමාධාරයේදී හඳුන්වනවා "මූලික ජෛව සාධක" කියල. තවත් විදිහකින් කිව්වොත් යම් පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා කියන්න පුළුවන් මූලිකම සාධක දෙක තමයි ස්වසනය කිරීම සහ රුධිර සංසරණය සිදුවීම. හැබැයි මේ දෙක නතර වුණ පමණින්ම අපි තීරණය කරන්නෙ නෑ ඒ පුද්ගලයා මිය ගිහින් කියල. ඒ ඇයි කියල 

එහෙනම් මූලික විනිශ්චය කියල අපි කරන්නෙ යම් පුද්ගලයෙක්ගෙ මූලික ජෛව සාධක ක්‍රියාත්මක වෙනවාදැයි බැලීම. එය කරන ක්‍රමවේදයට අපි "මූලික ජීවිතාරක්ෂක ක්‍රමවේදය" කියල කියනවා

රෝගී කළමනාකරණ පටිපාටිය

රෝගී කළමනාකරණ පටිපාටිය

ආයුබෝවන් ! කොහොමද ඔයාලට? හැමෝම සතුටින් ඉන්නවා ඇති කියල විශ්වාස කරනවා. කලින් ලිපියෙදි අපි කතා කළේ ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යයභාරය පිළිබඳව. ඒ ලිපියත් සමගින් අපි ප්‍රථමාධාරයේ මූලධර්ම කියන පාඩම නිමා කරල, දැන් අවතීර්ණ වෙන්නෙ රෝගී කළමනාකරණ පටිපාටිය පිළිබඳව කතා කරන්න. මේ පාඩමේදි තමයි කෘතිම ස්වසනය, ආරක්ෂිත ඉරියව්ව වගේ කොටස් ගැන කතා කරන්නෙ. ඒ වගේම මේ රෝගී කළමනාකරණ පටිපාටිය ඔස්සේ තමයි අපි රෝගියාගේ තත්ත්වය පිළිබඳව නිගමනයකට ඇවිත් ලබා දෙන ප්‍රථමාධාරය පිළිබඳව තීරණය කරන්නෙ. ඇත්තම කිව්වොත් මේව ඉතින් ප්‍රථමාධාරයේ ගල් පැලෙන සිද්ධාන්ත. නමුත් තර්කානුකූලව අවබෝධ කරගත්තම හරිම රසවත් පාඩම්.

රෝගියෙක්ව දැකපු ගමන් එයාට තියෙන රෝගය හෝ ආබාධය ගැන කියන්න අපිට දිවැස් නැහැනෙ. ඒ නිසා ක්‍රමවත් ක්‍රියා පිළිවෙලකින් පසුව තමයි රෝගියාගේ තත්ත්වය කුමක්ද, රෝගය කුමක්ද, ලබා දිය යුතු ප්‍රථමාධාර මොනවාද කියන දේවල් තීරණය කරන්නෙ. අන්න ඒ ක්‍රමවත් ක්‍රියා පිළිවෙල අපි හඳුන්වනවා "රෝගී කළමනාකරණ පටිපාටිය" කියලා. රෝගියෙකු කළමනාකරණය කිරීමේ පිළිවෙළ අපිට ප්‍රධාන අදියර හතරක් යටතේ දක්වන්න පුළුවන්.  

  1. මූලික විනිශ්චය  -  Primary Survey
  2. ද්විතියික විනිශ්චය  - Secondary Survey
  3. ප්‍රථමාධාර  -  First Aid
  4. ප්‍රවාහනය සහ පශ්චාත් සංරක්ෂණය  -  Transportation & After Care 

බලන්නකෝ මේ රූප සටහන දිහා. වචන ගැන බය වෙන්න එපා. ඒව අපි වෙන වෙනම පැහැදිලි කරන්නම්. දැනට රූප සටහනේ තියෙන දේවල් ගැන පොඩි අවබෝධයක් ගන්නකෝ.



මේ රූප සටහන අනුව අපට ප්‍රධාන රෝගීන් කාණ්ඩ දෙකක් පහසුවෙන් ම වෙන් කර හඳුනා ගන්න පුළුවන්. කිසි හැල හොල්මනක් නැතිව නිශ්චලව වැටී සිටින රෝගීන් සහ ප්‍රතිචාර දක්වන රෝගීන්. බුදු අම්මෝ.. මාව බේරගනියෝ කියල කෑ ගහ ගහ ඉන්න රෝගීන් අයිති වෙන්නෙ ප්‍රතිචාර දක්වන රෝගීන්ගෙ ගොඩට. අපි කලින් ඉගෙන ගත්ත ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව, ඔය කාණ්ඩ දෙක අතරින් අපේ අවධානය ඉස්සෙල්ලාම යොමු වෙන්න ඕනෙ කා වෙත ද? නිශ්චලව වැටී සිටින රෝගීන් වෙත. මොකද එයාල බාහිර පරිසරයත් එක්ක තියෙන සම්බන්ධතාව නතර වෙලා වෙන්න පුළුවන්. සමහර විට ස්වසනය සහ හෘද ස්පන්දනය නතර වෙලා වෙන්නත් පුළුවන්. ඒ නිසා වහාම අපි ඒ රෝගීන්ගේ මූලික විනිශ්චය සිදු කරන්න ඕනෙ. මූලික විනිශ්චය කියල කියන්නෙ යම් රෝගියෙක් බාහිර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට ප්‍රතිචාර දක්වනවද නැද්ද, ස්වසනය කරනවද නැද්ද, හෘද ස්පන්දනය සිදු වෙනවද නැද්ද කියල හොයල බලන පොඩි පරීක්ෂණයක්. ( කරන විදිහ ඊළඟ පාඩමේදි කතා කරමු ). 




මේ මූලික විනිශ්චය කියන පරික්ෂාව අවසානයේදි අපිට ලැබෙන්නෙ ප්‍රතිඵල දෙකයි. එකක් තමයි රෝගියා හුස්ම ගන්නවා. අනික තමයි රෝගියා හුස්ම ගන්නෙ නෑ. රෝගියා හුස්ම ගන්නවා නම් පරීක්ෂණය සමත්, හුස්ම ගන්නෙ නැත්තන් පරීක්ෂණය අසමත්. මූලික විනිශ්චය අසමත් නම්, වහාම මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය අරඹන්න ඕනෙ. මූලික විනිශ්චය අසමත් කියල කියන්නෙ රෝගියා හුස්ම ගන්නෙ නෑ සහ හෘදය වැඩ කරන්නෙ නෑ කියන එකනේ? එහෙනම් මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය කියල කියන්නෙ මොකක්ද කියල ඔයාලට ඉවෙන් වගේ තේරෙන්න ඕනෙ. මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය කියල කියන්නෙ සරලවම කිව්වොත් හුස්ම ගන්නෙ නැති රෝගියාට බාහිරින් කෘතිමව හුස්ම දෙන එක සහ කෘතීමව හදවත වැඩ කරවන එක. මේ වචන වලට බය වෙන්න එපා. දැනට මූලික විනිශ්චය කියල මොකක්දෝ එකකුයි, මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය කියල තවත් මොකක්දෝ එකකුයි තියෙනවා කියල විතරක් මතක තියාගන්න, ඊළඟ ලිපි වලදි අපි ඔය හැම එකක් ගැනම විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඒ තාක්ෂණික වචන පාවිච්චි නොකර ලිපි ලිව්වොත් ඔයාලටමයි ඒකෙන් පාඩු. අපි මේ හුඟක් යෙදුම් වල ඉංග්‍රීසි තේරුම එහෙමත් දෙන්නෙ, ආසාව උනන්දුව තියෙන අයට වැඩිදුර කරුණු අධ්‍යයනය කරන්න පහසු වෙන්න. ඒ නිසා පුළුවන් තරම් මේ වචන ග්‍රහණය කරගන්න උත්සාහ ගන්න. 

හොඳයි ආයෙත් එමු පාඩමට. නිශ්චලව වැටී සිටින රෝගියාගේ මූලික විනිශ්චය සමත් නම් අපිට පුළුවන් ද්විතියික විනිශ්චයට එළඹෙන්න. ඇත්තටම මේ ද්විතියික විනිශ්චයේදි කරන්නෙ රෝග විනිශ්චය සිදු කරන එක. සරලවම කිව්වොත් ලෙඩාට මොකද වෙලා තියෙන්නෙ කියල තීරණය කරන එක. හැබැයි රෝගියාගේ මූලික විනිශ්චය අසමත් නම්, අපිට සිද්ධ වෙනවා අර මූලික ජීවිතාරක්ෂක ක්‍රියාවලිය සිදු කරමින් රෝගියා වහාම රෝහල් ගත කරන්න. අපිට හමු වෙලා තියෙන්නෙ ප්‍රතිචාර දක්වන රෝගියෙක් නම්, අමුතුවෙන් ආයෙ මූලික විනිශ්චයක් කරන්න ඕන නෑනෙ. ඒක නිකන්ම පාස්. එහෙනම් අපිට පුළුවන් එයාට කෙලින්ම ද්විතියික විනිශ්චය, එහෙමත් නැත්තන් රෝග විනිශ්චය සිදු කරන්න. පැහැදිලියි නේද?

ද්විතියික විනිශ්චයේදී රෝගය මොකක්ද කියල හඳුනා ගත්තට පස්සෙ අපිට පුළුවන් ඒ එක් එක් රෝගය සඳහා නිර්දේශිත ප්‍රථමාධාරය ක්‍රියාත්මක කරමින්, රෝගියාව වෛද්‍යාධාර කරා යොමු කරවන්න. ඒක තමයි ඔතන ඔය ප්‍රවාහනය සහ පශ්චාත් සංරක්ෂණය කියල සඳහන් වෙන්නෙ. ඇත්ත වශයෙන්ම ප්‍රථමාධාරයේ සියළු සෙල්ලම් ටික තියෙන්නෙ මෙන්න මේ අදියර හතර ඇතුලෙ. මතකයි නේද අපි ප්‍රථමාධාරකරුවෙකුගේ වගකීම් සහ කාර්යභාරය ලිපියෙදි සඳහන් කළා, රෝගියා වෛද්‍යවරයා වෙත පැමිණවූ පසු ප්‍රථමාධාරකරුගේ රාජකාරිය අවසන් වේ කියල? ඒ නිසා ප්‍රථමාධාර සංකල්ප සියල්ල ක්‍රියාත්මක වෙන්නෙ, මෙන්න මේ අදියර හතර ඇතුළෙ. මූලික විනිශ්චය කරන ක්‍රමවේදයක් තියෙනවා. ද්විතියික විනිශ්චය මගින් රෝග විනිශ්චය සිදු කරන ක්‍රමවේදයක් තියෙනවා. හඳුනා ගත්ත රෝගයට ප්‍රථමාධාර ලබා දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ක්ලාන්තය නම් ක්ලාන්තයට ප්‍රථමාධාර, අස්ථි බිඳුමක් නම් ඊට අදාල ප්‍රථමාධාර, පිච්චිලා නම් ඊට අදාල ප්‍රථමාධාර ආදී වශයෙන්. 

එක් එක් රෝගය අනුව එක් එක් රෝගියා ප්‍රවාහනය කළ යුතු ක්‍රම තියෙනවා. කකුල කැඩිච්ච කෙනෙක් ගෙනියන විදිහට නෙමෙයි ඇදුම රෝගියෙක් රෝහලට ප්‍රවාහනය කරන්නෙ. ඇදුම රෝගියාව ගෙනියපු විදිහට නෙමෙයි වහ බීපු කෙනෙක්ව ගෙනියන්නෙ. එක් එක් රෝගී තත්ත්වය අනුව රෝගීන් ප්‍රවාහනය කළ යුතු ක්‍රමයත් වෙනස් වෙනවා. අන්න නැවතත් ප්‍රථමාධාර සංකල්ප අපිට උදව් වෙනවා. ප්‍රවාහනය කරන්නෙ ඉතින් රෝහලටනේ. ලෙඩාව රෝහලට භාර දුන්නැයින් පස්සෙ අපේ රාජකාරිය අහවර වෙනවා. පැහැදිලියි නේද? ඔන්න ඕකයි රෝගී කළමනාකරණ පටිපාටිය කියන්නෙ. ප්‍රථමාධාරකරුවෙකු විසින් ඕනෑම අවස්ථාවකදී ක්‍රියා කළ යුත්තේ ඔන්න ඔය ආකාරයටයි. 


Pages

දර්ශනීය ශ්‍රී ලංකා

Text Widget

lahiru blogs create. Powered by Blogger.

 

© 2013 FOR CHANGE. All rights resevered. Designed by Templateism

Back To Top