(~!~)ආයුබෝවන්(~;~)

***::::::::::::::::::::::::*** :::දිනය සුබ ‍ව‍ෙීවා:::** :::ඔබට ජය වෙීවා.:::** ***:::::::::::::::::::::::***

Friday, June 26, 2015

රුධිර වහන කළමනාකරණය

10:43 AM

තුවාල සහ රුධිර වහන කළමනාකරණය

Image result for hospital images

තුවාල


අපේ ශරීරයේ සෑම ස්ථානයක්ම පටක මගින් එකිනෙක සම්බන්ධ වෙලයි තියෙන්නෙ. ශරීරයේ ඕනෑම ස්ථානයක මේ පටක අතර තියෙන සම්බන්ධතාවය බිඳිම අපි තුවාලයක් කියල හඳුන්වනවා. බොහොමයක් තුවාල අවස්ථා වලදී දැකිය හැකි ලක්ෂණයක් තමයි රුධිරය වහනය වීම. මේ රුධිර වහනය ආකාර දෙකකට වෙන්න පුළුවන්. බාහිර රුධිර වහනය සහ අභ්‍යන්තර රුධිර වහනය තමයි ඒ ආකාර දෙක. බාහිර රුධිර වහනයකදී අපිට තුවාලය පේනවා, තුවාලයේ බරපතලකමත් අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් අභ්‍යන්තර රුධිර වහනයක් ශරීරය මතුපිටින් දර්ශනය නොවෙන නිසා අපිට තුවාලය කොයි වගේ ද කියන එක ගැන තීරණය කරන්න අමාරුයි.

රුධිර නාලයට හානිය සිදු වෙන ආකාරය අනුව අපිට තුවාලත් ප්‍රධාන ආකාර කිහිපයකට වර්ග කරන්න පුළුවන්.


  • කැපුම් තුවාල - Incised Wound
  • ඉරීම් තුවාල - Laceration Wound
  • සීරීම් තුවාල - Abrasion Wound
  • තැලුම් තුවාල - Contusion Wound
  • විදුම් තුවාල - Puncture Wound
  • ඇනීම් තුවාල - Stab Wound
  • වෙඩි වැදීම් තුවාල - Gunshot Wound

කැපුම් තුවාල - Incised Wound


තියුණු මුවහතක් ඇති ආයුධ හෝ උපකරණ වලින් තුවාල සිදුවුණාම බොහෝ විට ඇතිවෙන්නෙ කැපුම් තුවාල. රුධිර නාල තියුණු ලෙස හානි වෙන නිසා මේ වර්ගයේ තුවාල වලදි, තුවාලය පොඩි වුණත් අධික රුධිර වහනය වීමක් දකින්න පුළුවන්.

ඉරීම් තුවාල - Laceration Wound


අපි කතුරෙන් කඩදාසියක් කපන එකේ සහ අඩි රූල තියල කඩදාසිය ඉරන එකෙයි වෙනසක් තියෙනවා නේද? කතුරෙන් කපපු කඩදාසියේ කැපුම් දාර තියුණුයි, සුමටයි. නමුත් ඉරපු එකේ එහෙම නෑ. ඒ වගේ තමයි ඉරීම් තුවාලත්. මුවහත් නැති ආයුධයක් හෝ උපකරණයක් නිසා තමයි ඉරීම් තුවාල ඇතිවෙන්නෙ. මේ තුවාල සුමට නැහැ, කඩතොළු සහිතයි, වැඩි පටක ප්‍රමාණයකට හානි වෙලා තියෙන්න පුළුවන්. රුධිර වහනය කැපුම් තුවාලවල තරම් ප්‍රබල නොවුණත්, ඉරීම් තුවාල ආසාදනය වීමේ හැකියාව වැඩියි.

සීරීම් තුවාල - Abrasion Wound


සීරීම් තුවාල කියන්නෙ සම මතුපිටින් ඇතිවන තුවාල. විශේෂයෙන්ම රළු මතුපිටක සම ඇතිල්ලුනොත් තමයි මේ වගේ සීරීම් ඇතිවෙන්නෙ. අපි ඔය කට වචනෙටත් කියන්නෙ "ලොකු අවුලක් නෑ.. සීරිලා විතරයි" කියලා? අන්න ඒ කියන්නෙ මේ සීරීම් තුවාල ගැන තමයි. ලොකු අවුලක් නෑ කිව්වට ඉතින් සීරීම් තුවාල වලදිත් ආසාදනය වීමේ ඉඩකඩ නම් වැඩියි.

තැලුම් තුවාල - Contusion Wound


මුවහත් හෝ තියුණු නොවන යමක ගැටීම නිසා ශරීරයේ ඇතිවන තුවාල තැලුම් තුවාල කියල හඳුන්වන්න පුළුවන්. උදාහරණ විදිහට ඇණයක් ගහනකොට මිටියට තැලෙනවා, එහෙමත් නැත්තන් රණ්ඩුවකට ගිහින් පොලු පහරක් එල්ල වෙනවා, එහෙම නැත්තන් දොරට ඇගිල්ල අහුවෙනවා... මේ තැලුම් තුවාල වලදි බාහිර රුධිර වහනයක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අපි ඔය කියන්නෙ "තුවාල වෙලා නම් නෑ.. තැල්ම විතරයි" කියලා? ඒ වගේ වෙලාවල් වල බාහිර රුධිර වහනයක් අපිට දකින්න ලැබෙන්නෙ නෑ. බාහිර රුධිර වහනයක් තිබුණොත්, හුඟක් වෙලාවට  එතන තියෙන්නෙ කැපුමක් නෙමෙයි, පිපිරුමක් වගේ තුවාලයක්.

විදුම් තුවාල - Puncture Wound


ඇණයක් ඇනුනොත්, ඉඳිකටුවට හිල් වුනොත් ඇතිවෙන්නෙ විදුම් තුවාලයක්. තුවාලයේ මතුපිට විවරය විශාල නොවුණත් ශරීරයේ හුඟක් ගැඹුරට යනකම් හානි වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා බැරිවෙලාවත් මේ වගේ තුවාලයක් ආසාදනය වුණොත් එහි බලපෑමත් අභ්‍යන්තර අවයව කරා පැතිරෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි.

ඇනීම් තුවාල - Stab Wound


මේ කියන්නෙ ප්‍රධාන වශයෙන්ම පිහි ඇනුම් වගේ තියුණු මුවහතක් සහ දිගු තුඩක් සහිත ආයුධ/ උපකරණ නිසා සිදුවෙන තුවාල ගැන. මේ වගේ තුවාල වලදි ගොඩක් අවධානයෙන් කටයුතු කළ යුතුයි. තියුණු මුවහත සහ දිගු තුඩ නිසා ඇතිවෙලා තියෙන හානිය ශරීරයේ අභ්‍යන්තර අවයව තෙක් ම පැතිරිලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ අවස්ථාවකදි බාහිර සහ අභ්‍යන්තර රුධිර වහන දෙකම තියෙන්නත් පුළුවන්.

වෙඩි වැදීම් තුවාල - Gunshot Wound


වෙඩි වැදීමක් නිසා ඇතිවෙන තුවාල ගැන තමයි මේ කියන්නෙ. වෙඩි උණ්ඩය ශරීරයට ඇතුල් වූ සහ පිට වූ ස්ථානවල විවර 2ක් දකින්නට ලැබීම තමයි මේ තුවාල වල විශේෂ ලක්ෂණය. වෙඩි බෙහෙත් සහ අවට පරිසරයේ ඇති විෂබීජ නිසා මේ තුවාල ආසාදනය වීමේ හැකියාව ඉතාම ඉහලයි.

බලන්නකෝ මේ පහල රූපයේ තියෙන තුවාල වර්ග ඔබට වෙන් කර හඳුනාගන්න පුළුවන් ද කියලා.






මේ එකී මෙකී නොකී සෑම තුවාල වර්ගයක්ම භයානක වෙන්නෙ ප්‍රධාන හේතු 2ක් නිසා.

1. රුධිර වහනය
2. ආසාදනය

ඒ නිසා ප්‍රථමාධාරකරුවෙක් විදිහට තුවාල සහ රුධිර වහනයක් කළමනාකරණයේදී ඔබේ අරමුණ වෙන්නෙ රුධිර වහනය පාලනය කිරීම සහ තුවාලය ආසාදනය වීමෙන් වැළැක්වීම. මේ කියන රුධිර වහනය පාලනය කිරීම සහ ආසාදනයෙන් වැළැක්වීම කරන්නෙ කොහොමද කියන එක අපි ඊළඟ ලිපියෙන් කතා කරමු. එතෙක් ඔබට ජය, සතුට සහ නිරෝගි සුව !

Written by

We are Creative Blogger Theme Wavers which provides user friendly, effective and easy to use themes. Each support has free and providing HD support screen casting.

0 comments:

Post a Comment

 

© 2013 FOR CHANGE. All rights resevered. Designed by Templateism

Back To Top